රටේ ප්‍රශ්න විසඳීමේදී නිවැරදි තීරණ ගැනීම සඳහා බුද්ධිමතුන්ගේ අත්දැකීම් සහ දැනුම අත්‍යවශ්‍ය වන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ විද්වත් හමුවකට සහභාගීවෙමිනි. විද්වත් හමුව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ තීරණ ගැනීමේදී උගත් බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කිරීමත් ඔවුන්ගේ අදහස් විමසීමත් පසුගිය කාලයේදී ක්‍රියාත්මක නොවූ බවයි.
“රටේ පමණක් නොවෙයි අපේ වරාය අමාත්‍යාංශයේ ප්‍රශ්න විසඳීමටත් බුද්ධිමතුන්ගේ අදහස් සලකාබැලීම වටිනවා. අප මේ වනවිටත් වරාය ක්ෂේත්රයට අදාළව උපදේශක මණ්ඩල පත් කර තිබෙනවා. එයින් පිටත විෂයන්වලදීත් බුද්ධිමතුන්ගේ සේවය ලබාගැනීම අවශ්‍යයයි. නමුත් මෙවන් සංස්කෘතියක් පසුගියකාලේ තිබුණේ නැහැ. ජනවාරි 08 වැනිදා අපි භාරගත්තේ ජරාජීර්ණ වූ සමාජයක්. උදාහරණයකට වරාය ගනිමු. මේ වරායේ සෑම තැනකම තිබුණේ දූෂණය, හොරකම සහ වංචාව. එය නතර කරන විට හොරකම, වංචාව සිදුකළ බොහෝ අය වරායේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා. ඒ තත්ත්වය වරායේ විතරක් නෙවෙයි රටේත් දකින්න පුළුවන්. රට සංවර්ධනය කිරීමේදී අප මුහුණ දෙන ලොකුම අභියෝගයත් ඔවුන්ව පරාජය කිරීම. ඒ සඳහා සාමාන්‍ය ජනතාව දැනුමින් සන්නද්ධ කළ යුතු බව පසුගිය අත්දැකීම්වලින් අපට අවබෝධ වුණා.... ” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත, මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය ප්‍රියන්ත දුණුසිංහ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී, රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී මොහාන්රාජ් මඩවල ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ.