නොරොච්චෝලේ චීනයට?
නොරොච්චෝලේ චීනයට දීමට විරුද්ධයි - ලංකා විදුලි සේවක සංගමය ඇතුළු සංගම් විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි
චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත්, එම ගිවිසුමෙන් බලාගාරය චීනයට පැවරීම සිදුකරන බවත්, එම ගිවිසුමට විරෝධය පා අද (16දා) පැවැත්වෙන උත්සවය වර්ජනය කරන බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
නොරොච්චෝලේ බලාගාරයේ තෙවැනි අදියර විවෘත කරන බවට පවසා සංකේතාත්මකව විවෘත කිරීමක් සිදුකර චීන සමාගමක් හා ලංකා විදුලි බලමණ්ඩලය අතර නොරොච්චෝලේ බලාගාරය චීනයට පැවරීමේ ගිවිසුමකට අත්සන් තැබීමක් සිදුවන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මේනිසා තම සංගමය ඇතුළු සංගම කිහිපයක් අද දින පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරන බවද ඔහු පවසා සිටියේය.
මහින්ද චින්තන පොත මාධ්‍ය ඉදිරියේ පතුරු ගසනවාසේම අද අත්සන් කරන ගිවිසුමද වහාම රටට හෙළිකරන ලෙසද එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
නොරොච්චෝලේ චීනයට දෙන කතාව අසත්‍යයක්-
අද සිදුවන්නේ චීන ඉංජිනේරු තාක්ෂණික දැනුම හා සහයෝගය ලබාදෙන බවට එකඟතාවක් පමණයි -ලංකා විදුලිබල මණ්ඩල සභාපති
නොරොච්චෝලේ විදුලි බලාගාරය චීනයට ලබාදීමට යන බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළ එය අසත්‍යයක් බවත්, අද දිනය තුළ සිදුවන්නේ චීන ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දැනුම සහ තාක්ෂණික සහයෝගය ලබාදෙන බවට එකඟවීම පමණක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරය කිසිවිටෙකත් විකුණා නොදමන බවත්, ඒ පිළිබඳව තමා සහතික වන බවත් සභාපතිවරයා පවසා සිටියේය. 2011 වසරේ සිට චීන ඉංජිනේරුවන්ගෙන් තාක්ෂණික දැනුම සහ සහයෝගය ලබාගන්නා බවත්, එය විධිමත් ලෙස ලබාගැනීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි හා තෙවැනි අදියර අද දිනයේදී විවෘත වන බවත්, ඉන්පසුව මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් විදුලිබල පද්ධතියට එක්වන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

