විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධීව ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු අද (28දා) උදෑසන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ පිහිටි තීරු බදු රහිත සාප්පුවක සේවය කරන පිරිසක් එක්ව ශීතකරණයක බහා මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපොළෙන් පිටකර ගැනීමට මෙසේ උත්සාහ කර ඇති අතර, මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් මගියෙකු සහ අදාළ සාප්පුවේ සේවකයන් දෙදෙනෙකි.
අදාළ ගුවන් මගියා 33 හැවිරිදි පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු කටාර් රාජ්‍යයේ රැකියාව නිරත වීමෙන් පසු ආපසු මෙරටට පැමිණෙමින් සිටියදී අදාළ සාප්පුවේ සේවක පිරිස මෙම ශීතකරණය ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන ගොස් දෙන ලෙසත් ඒ සඳහා රුපියල් 2,500ක මුදලක් ඔහුට ලබාදෙන බවටත් පොරොන්දු වී තිබේ. මෙම ශීතකරණය ගුවන් තොටුපොළ පිටතදී ආපසු භාර ගැනීමට පිරිසක් සිටින බවද වැඩිදුරටත් දන්වා තිබේ.
මෙම ගුවන් මගියාට ශීතකරණයක් මිලදී ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණද, පෙර කී මුදල පිළිබඳව සිතා ඔහු මේ කටයුත්තට ඔහු එකඟ වී තිබේ.
රේගු නිලධාරීන් ගුවන් මගීන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂාවේ යෙදී සිටියදී මොහුද එම පෝලිමට එක්ව ඇති අතර, එහිදී රේගු නිලධාරීන්ට මෙම ශීතකරණය පිළිබඳව සැක ඇති වූ බැවින් එහි ඇසුරුම් ඉවත් කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ අසුරා තිබූ විදේශීය දුම්වැටි කාටූන් 115ක් හමුවී තිබේ.
මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ගුවන් මගියා රේගු නිලධාරීන් හමුවේ සියල්ල ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව අදාළ තීරු බදු රහිත සාප්පුවද පරීක්ෂා කළ රේගු නිලධාරීන්, ඒ තුළ සඟවා තිබූ තවත් විදේශයේ නිෂ්පාදිත දුම්වැටි කාටූන් 48ක්ද සොයා ගෙන තිබුණි.
ඒ අනුව දුම්වැටි 32,600ක් අඩංගු දුම්වැටි කාටූන් 163ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි. මෙම දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් 16,30,000ක් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ගුවන් මගියා අද (28දා) උදෑසන 9.05ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 656 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු අරම්භ කර තිබේ.