නිදහස් වෙළෙඳ කලාපයක් හම්බන්තොට පිහිටුවීම අනවශ්‍ය නම් එය පොළොන්නරුවට ලබාදෙන ලෙසත්, ඒ සඳහා ප්‍රමාණවත් ඉඩම් පොළොන්නරුවෙන් ලබාදීමට තමා සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජනාපති දෙවැනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් ඊයේ(08දා) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති 'තිරසර යුගයක තෙවසර ඇරඹුම'ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එමෙන්ම කිසිවකු තමා සමග එක්ව අලුතෙන් ආණ්ඩු සෑදීමට අවශ්‍ය නොවන අතර, තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඒ සියල්ලගෙන්ම ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
අනාගත බලය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියල්ලන්ම සිදුකරන ප්‍රකාශ පුහු ඒවා බවත්, ඒ සියල්ල සමාජ විරෝධී ප්‍රකාශ ලෙස තමා දකින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම එවැනි පුහු ප්‍රකාශවලින් තොරව රටේ සැබෑ ප්රශ්නය තේරුම්ගෙන එය විසඳීමට සියල්ලන් එක්විය යුතු කාලය පැමිණ ඇති බවත්, පක්ෂ දෙකක් එක්ව ආණ්ඩු කිරීම විචේචනය නොකළ යුතු බවත් ජනාධිපති සිරිසේන මහතා පැවසීය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
'මගෙත් එක්ක කවුරුවත් අලුත් ආණ්ඩු හදන්න අවශ්‍ය නැහැ. ඒහැමටම මම කියන්නෙ මේ තියෙන ආණ්ඩුව සමග එකතුවෙලා රට ගොඩනගන්න ඉදිරියට යමු කියලා මම ආයාචනා කරනවා. ආණ්ඩු පෙරළන හිස් බස් පසුපස යාමට අවශ්‍ය නැහැ, අපට ජනතාව බාරදුන්නු කටයුතු කරමු.
ආණ්ඩු බලය නැති අයයි, ආණ්ඩු කරන දෙගොල්ලයි පහුගිය දශක කිහිපයක් නැති හඬක් නගනවා.තව අවුරුදු හතරකට එහා තියෙන මැතිවරණයක් ගැන කතාකරනවා. මැතිවරණ ක්‍රමයක් ගැන කතාකරනවා. අනාගත බලය පිළිබඳ කරන මෙම පුහු ප්‍රකාශ මම දකින්නේ සමාජ විරෝධී, ජාති විරෝධී ප්‍රකාශ ලෙසයි. රටේ අනාගතයට විරෝධ ප්‍රකාශ ලෙසයි. රටේ සැබෑ ප්රශ්නය තේරුම්ගෙන එය විසඳීමට කටයුතු කළ යුතුයි.
අගමැතිතුමනි හම්බන්තොටට ඒ කර්මාන්ත එපා නම් ඒටික මට පොළොන්නරුවට දෙන්න. මම ලෑස්තියි පොළොන්නරුවෙන් ඉඩම් දෙන්න. මේ කිසිම තැනක භුමිය අපි පාවා දීලා නැහැ.
වසර 65කට අධික කාලයක් අසමගියෙන් හිටපු පක්ෂ දෙකක්, ඒ දේශපාලන සංස්කෘතිය කණපිට හරවලා සහෝදරත්වයෙන් රට ගොඩනගන්න එකතුවෙලා ආණ්ඩුකරනවානම් ඒකට ඇඟිල්ල දික් කරනවා නම් හොඳ මදි.
අපි සියල්ල රට වෙනුවෙන් කැපවෙමු අපට ගොඩ එන්න පුළුවන්. පසුගාමී තත්ත්වයන් අපි සම්පූර්ණයෙන්ම අමතක කරමු. දිළිඳුකමින් නිදහස්වීමේ රටක් ලෙස අපට ඉදිරියට යන්න පුළුවන්.
මගේ පළමු පදවිප්‍රාප්ති වසර සැමරීමේදී ප්‍රධාන දේශනයට ආරාධනා කළේ ඉන්දියාවේ ප්‍රාන්තයක හිටපු ගාන්ධි මහත්මාට. අද ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමතිතුමාව ගෙන්නුවා.
ඉන්දීය ශ්‍රීලංකා සබඳතාවලට වසර දහස් ගණනක් තිබෙන්නේ භෞතික සම්බන්ධතාවට වඩා ආධ්යාත්මිකසම්බන්ධතාවක්.එය ගිවිසුම්වලට වඩා ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගුණු බැඳීමක්. එය තවතවත් වර්ධනය වෙනවා වගේම විදේශ ප්‍රතිපත්තිය තුළ ලෝකයේ සියලුම රාජ්‍යයන් සමග අපි අපේ මිත්‍රත්වය ගොඩනගාගෙන තිබෙනවා' යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නයිදු, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වූහ.