“ අපි අපේ සටන පක්ෂය ඇතුළේ කරගෙන යනවා. මේ වන විට අපි අපේ නායකයාට කරන්න ඕන ඉල්ලීම් ටික කරලයි තියෙන්නේ. එහිදී පක්ෂයට අලුත් නායකයෙකු පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා අපිට පොරොන්දු වෙලා තියෙනවා.ʼʼ යැයි විදේශ රැකියා , විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
බදුල්ලේදී පෙරේදා ( 28දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
"එක පිඟානේ කාලා තමන්ගේ වාසියට අනෙක් පැත්ත හැරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපත් නයි වැඩපිළිවෙළට විරුද්ධව අපි අනිවාර්යයයෙන්ම නැගී සිටිනවා. ඔවුන් කරන්නේ තමන්ගේ වාසියට තලගොයා මොකාදෝ කරගෙන කනවා වගේ වැඩක්. දේශපාලනය තියෙන්නේ පුටුවල නොවෙයි. හදවත්වලයි. ඒවගේ ප්‍රතිපත්ති නැති දේශපාලඥයන් ඉන්න රටක, රට පැත්ත ගැන බලනකොට ලොකු කනගාටුවක් අපේ හදවතේ තියෙනවා.
ඒ වගේම පැවසිය යුතු කරුණක් තමයි එක්සත් ජාතික පක්ෂය කිසි දවසක විනාශ කරන්න බැහැ කියන කාරණය. එසේ විනාශ කරන්න උත්සාහ කළොත් කවදාවත් ඒ සඳහා අපෙන් ඉඩක් ලැබෙන්නෙත් නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ වෙනස ආරම්භ කරපු දිස්ත්‍රික්කය බදුල්ලයි. අපට ගහන්න ඇවිත් තමයි ඒ අය පොල්ල වරද්ද ගන්නේ කියන එක කියන්න ඕන.
අපේ ඇමතිකම් සියල්ල ගලවලා ගත්තට කමක් නැහැ. ඒකේ ආනිශංස නුදුරේදීම දැක ගන්න හැකි වෙයි. මොකද ඉස්සරත් එහෙම වෙලා තියෙනවා.
අගමැතිවරයාට විරුද්ධව මේ වන විට විශ්වාසභංගයක් ඉදිරිපත්ව තියෙනවා. එසේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවිධ අය ගේම් ගහනවා. ඒවා ඇතුළේ එක්සත් ජාතික පක්ෂය වට්ටන්න උත්සාහ කරනවා. තව කොච්චර දුරට කට වහගෙන ඉන්නද කියන ප්රශ්නය අපි තුළ තියෙනවා. විශ්වාසභංගය අපි ජයග්‍රහණය කළොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකුටවත් ඇමතිකම් දරන්න බැහැ. ඇමතිකම් දැරිය යුතුත් නැහැ.” යැයි ද පවසා සිටියේය.