ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීමේ උත්සවය හෙට (2දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේදි කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්ත්රයේදි සිදු කිරිමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවය අනුව විදේශිය නැව් තැනීමේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම නෞකාව මෙය වෙයි. එමෙන්ම ඉන්දියාව විසින් විදේශ නාවික හමුදාවක් වෙත නිෂ්පාදනය කරන ලද විශාලතම යුධ නෞකාව ලෙසද මෙය වාර්තාගත වේ. නෞකාව පසුගිය ජුලි 28 වන දින කොළඹ වරායට සේන්දු විය.
නෞකාව තුළින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම බාහිර ගිනි නිවිමේ මෙහෙයුම් සඳහා සහාය දැක්විමේ හැකියාව ද නෞකාව සතුය.
එහි දිග මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 කින් සමන්විත වේ. එහි ඉපුලුම් ගැඹුර මිටර් 5 ක් වන අතර, උපරිම වේග සීමාව පැයට නාවික සැතපුම් 26 කි.
තවද, නෞකාවේ පැයට නාවික සැතපුම් 12 ත් 14 ත් අතර වේගයක් පවත්වා ගනිමින් නාවික සැතපුම් 7,000 ක පමණ දුරක් යාත්‍රා කිරිමේ හැකියාවද නෞකාව සතුව පවති. මෙහි අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා කටයුතු කරනු ලබයි. තවද, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වන අතර, නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක්ද මෙය සතුය.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය වන දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ලබන වසරේදි මෙම නැව් පංතියට එක්විමට නියමිතය.