ආණ්ඩුවට එක්වීමක් ගැන නාමල් සමග රහස් සාකච්ඡාවක් කළ බව ඔප්පු කළොත් මහ ඇමති අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙනවා
නාමල් රාජපක්ෂ මහතා සමග රහස් සාකච්ඡාවක් පවත්වා තමන් ආණ්ඩුවට එක්වීමට යන බවට ප්‍රචාරයක් දියත්කළද එය අසත්‍ය ප්‍රචාරයක් බවත්, එවැනි රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බව ඔප්පු කළහොත් තමා ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාග කර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ ආණ්ඩුවට පනින්නට සිතාගෙන නොවන බවත්, නාමල් රාජපක්ෂ මහතා සමග කතාබහ කළේ හිතවත්කමට, මිත්‍රකමට මිස ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින ආණ්ඩුවට එක්වීමට නොවන බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කළා සේම දේශපාලන ගමන අවසන් කරන්නේද එක්සත් ජාතික පක්ෂයෙන් බවයි.
පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වුවද බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයවත් නොලැබුණු බවට විවිධ පිරිස් චෝදනා කළත්, බදුල්ල දිස්ත්‍රික් නායකත්වය එම දිසත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකුට ලබා දී තිබෙන බවත්, පක්ෂය සෑමවිටම ජ්‍යෙෂ්ඨයන්ට අවස්ථාව ලබාදෙන බවත් ඔහු පවසා සිටියේය.
තමා කිසිදිනක තනතුරු බලාගෙන දේශපාලනය නොකරන බවත්, එවැනි දෙයක් බලාගෙන දේශපාලනය කළා නම් කිසිවිටෙක පාර්ලිමේන්තු මන්ත්රීක ධුරය අත්නොහරින බවත් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස තරග කර ඌව පළාත ජයග්‍රහණය කිරීමෙන් පසු එම තනතුර නොලැබුණද තමන්ට එය ගැටලුවක් නොවන බවත්, තමා සැමවිටම කටයුතු කරන්නේ තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් බවත් ඔහු පවසා සිටියේය.