පසුගිය වසර දෙක තුළදී තමන් වැඩිපුරම සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07දා) පැවසීය.
යෝෂිත රාජපක්ෂ මහතා සහ රොහාන් වැලිවිට ඇතුළු කණ්ඩායම රක්ෂිත බන්ධනාගාරයේ සිටි දින 45න් 40ක්ම ඔවුන් හමුවීමට තමන් ගිය බවත්, ඊට අමතරව ස්වාමීන් වහන්සේලා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිටි සෑම අවස්ථාවකදීම ගිය බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.
එක්දිනක් තම ආච්චී ඇතුළුව පවුලේ සියලුදෙනා ප්‍රශ්න කිරීම්වලට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනවිත් තිබුණු අවස්ථාවකදී මුණගැසුණු බවද ඒ මහතා සඳහන් කළේය.
රොහාන් වැලිවිට මහතාගේ 'මාගේ කටඋත්තරය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ, තජුඩීන්ගේ නඩුව සම්බන්ධව අධිකරණය නොදන්නා තීන්දු විස්තර, චීන තානාපති නොදන්නා කරුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දන්නා බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම්වල ඩොලර් බිලයන 18ක් තිබුණු බවට මීට පෙර පැවසුවද පෙරේදා වනවිට එය ඩොලර් බිලයනයක් දක්වා අඩුවී එම ගිණුම පියාගෙන් තමාගේ නමට හරවා ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.