සමාජීය ගැටලුවලදී දේශපාලඥයන් ප්රමුඛ සියලු දෙනා භික්ෂූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ ගාල්ල, දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයෙන් අනතුරුව අදහස් දක්වමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
"වාණිජ සමාජය, තාක්ෂණික ලෝකය එක් පැත්තක දියුණුව වගේම ඊටත් වඩා වේගයකින් අපි දකින්නේ පරිහාණිය.
අද අපේ සමාජයේ තිබෙන දේශපාලන ප්‍රශ්න මුල් කරගෙන නොයෙකුත් ප්‍රකාශ ඇතැම් වෙලාවට එක එක්කෙනා ප්‍රකාශ කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඒ වගේම අද උදේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේගේ ලිපියකුත් මා වෙත ලැබුණා, මේ කරුණු සඳහන් කරලා.
මූලික වශයෙන් මම සඳහන් කරන්නට ඕනෙ, මේ රටේ දේශපාලඥයන් ඇතුළු සෑම කෙනෙක්ම විශේෂයෙන්ම ගිහි සමාජය තේරුම්ගත යුතු දෙයක් තමයි, නීතියට, ව්‍යවස්ථාවට වඩා, දේශපාලන බලවේගවලට වඩා රටක සංස්කෘතික බලවේග බලවත්.
ඒ නිසා අපේ රටේ බෞද්ධ සංස්කෘතිය අපි තේරුම් ගන්න ඕනේ. අපේ සිංහල සංස්කෘතිය අපි තේරුම් ගන්න ඕනේ. අපේ රටේ සුළු ජනකොටස්වල සංස්කෘතිය අපි තේරුම් ගන්නට ඕනේ.
සමාජය තුළ ඇති වන විවිධ ප්‍රශ්න, සිද්ධීන්වලදී දේශපාලඥයන් ප්රමුඛ සෑම කෙනෙක්ම අපේ මහා සංඝරත්නය, ගෞරවණීය භික්ෂූන් වහන්සේලා පිළිබඳව ගෞරවයෙන් කතා කිරීම ඉතාම අවශ්‍යයි.
මේ රටේ මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක්." යැයි පවසා සිටියේය.