දුම්රහිත දුම්කොළ නිශ්පාදන තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් සාම්ප්‍රදායික බුලත්විටට බලපෑමක් නොමැති බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙම රෙගුලාසිය අනුව දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ යම් පැණිරස ගන්වනලද හෝ වර්ණ ගන්වනලද හෝ රසගන්වනලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය හෝ විකිණීම සිදු නොකළ යුතුය.
2016.09.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය හරහා මාවා, බාබුල් වැනි නොයෙකුත් නම්වලින් සඳහන් වන විෂ ද්‍රව්‍ය යොදා සකස් කර ඇති දුම්කොළ මිශ්රණයන් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම් වේ.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ
2016 අංක 01 දරන තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසිය හා සම්බන්ධවයි.
පසුගිය දශකයක සිට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර දුම්කොළ අඩංගු, දුම් රහිත දුම්කොළ භාවිතය වැඩි වශයෙන් ප්‍රචලිත වෙමින් පවතී. මෙම නිෂ්පාදන අතර, මාවා, බාබුල් සහ වෙනත් ආනයනික නිෂ්පාදන අඩු මිලකට රට තුළ රහසිගත ක්‍රමවලින් විකිණීම සිදුවේ. මේ පිළිබඳ මෑතකදී කරනු ලැබූ සමීක්ෂණයකදී විශේෂයෙන්ම තහවුරු වී ඇත්තේ මෙහි පාසල් ළමුන් ඇතුළු තරුණ ප්‍රජාව ගිල ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. මෙම නිෂ්පාදන භාවිතයෙන් විවිධ වු සෞඛ්‍යමය ගැටලු උද්ගත වන අතර, මුඛ පිළිකා, ගලනාලයේ පිළිකා, මානසික රෝග හා බඩවැල් ආශ්රිත රෝග ප්‍රධාන තැනක් ගනී. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව තරුණ පරපුර මුඛ පිළිකාවට ගොදුරු වීමේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. මෙම පිළිකා ඇතිවීම කෙරෙහි දුම්පානය සහ දුම්රහිත දුම්කොළ භාවිතයද සෘජුවම බලපායි.
පසුගිය කාල සීමාවේදී මෙම නිෂ්පාදන නිෂ්පාදනය කරන්නන්ට හා විකුණන්නන්ට එරෙහිව පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සූරාබදු නිලධාරීන් නිරන්තර වැටලීම් සිදු කළද පවත්නා නීති රීතිවල අඩු ලුහුඬුකම් නිසාවෙන් නීතිය ඉදිරියේ ඔවුන් වරදකරුවන් කිරීමට අපොහොසත් වුණි.
තවද අසල්වැසි රටවල මෙම දුම්රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් එම නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගලනය වෙමින් පවතින බවද පැහැදිලි වේ.
පවත්නා මෙම තත්වය පිළිබඳ, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ එහි ඇති දුම්රහිත දුම්කොළ පිළිබඳ අනුකමිටුව නොයෙකුත් සමීක්ෂණයන්, පරීක්ෂණයන් සිදු කළ අතර, අධිකරණ, පොලීසිය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල නිලධාරීන් සමග හා මෙම ක්ෂේත්රයේ විශේෂඥයන් සමග සාකච්ඡා පවත්වන ලදී. ඒ අනුව දුම්රහිත දුම්කොළ ආනයනය හා නිෂ්පාදනය තහනම් කිරීම සඳහා ක්‍රියා කිරීමට අමතර රෙගුලාසියක අවශ්‍යතාවය, ගරු ඇමතිතුමාට නිර්දේශ කිරීමෙන් අනතුරුව, 2016 සැප්තැම්බර් 01 දින සිට මෙම රෙගුලාසිය පැණවීමට කටයුතු කෙරිණි.
මෙම රෙගුලාසිය අනුව දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ යම් පැණිරස ගන්වනලද හෝ වර්ණ ගන්වනලද හෝ රසගන්වනලද දුම්කොල අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය හෝ විකිණිම සිදු නොකළ යුතුය.
මෙම රෙගුලාසියේ මූලික අරමුණ වනුයේ, අපගේ තරුණ පරම්පරාව හා පාසල් ළමුන් විනාශය කරා ඇදගෙන යන මාවා, බාබුල් වැනි නොයෙකුත් නම්වලින් සඳහන් වන විෂ ද්‍රව්‍ය යොදා සකස් කර ඇති දුම්කොළ මිශ්රණයන් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම් කිරීමට අදාළ නීතිමය පසුබිම සකස් කිරීම වේ. මෙම රෙගුලාසියෙන් සාම්ප්‍රදායික බුලත්විටට බලපෑමක් ඇති කිරීමට අදහස් නොකරන ලදී.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය