ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් යටතේ අත්අඩංගුවට ගත් දහස් ගණනක් සිර ගෙවල්වල යන්නෙන් ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැති බවත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත්තේ 219 දෙනෙකු පමණක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ (01දා) අධිකරණ අමාත්‍යාංශයේ පැවැති සර්ව ආගමික නායකයන්ගේ විශේෂ හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගත් දහස් ගණන් පිරිසක් බන්ධනාගාරවල සිර දඬුවම් විඳින බවට ඇතැමුන් කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ 219 දෙනෙකු පමණක් බවත්, එයින් 134 ක් දැනට රක්ෂිත බන්ධානාගාරගත කොට ඇති අතර, දැනට පරීක්ෂණ සිදුකෙරෙන සැකකරුවන්ගේ ගණන 60 ක් වන බවද ඔහු කීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 25 දෙනෙකු රැඳවුම් භාරයේ සිටින අතර, සැකකරුවන් 09 දෙනෙකු ඇප මත මුදාහැර ඇති බවද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් පැවසුවේ, දැනට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ගොදුරු වූ ප්‍රදේශවල මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් ගැටලුවකින් තොරව නැවත ඔවුන්ට ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත්කළ යුතු බවයි. මෙහිදී විශේෂයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ උතුරු නැගෙනහිර පළාත්වල යුදමය වාතාවරණයක් යටතේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් වසර 10 ක භුක්තියට සින්නවීමට පවතින නීතිමය රාමුව මෙම ඉඩම් හිමියන්ට බලනොපාන ලෙස නීති සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවිය යුතු බවත්, යුද්ධය හේතුවෙන් වැන්දඹු බවට පත් කාන්තාවන් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත්කළ යුතු බවත් අවධාරණය කළහ.
කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් මෙහිදී අදහස් දක්වමින්, ත්‍රස්තවාදී චෝදනා මත සිදුකරන අධිකරණ ක්‍රියාදාමයන් කඩිනම් කිරීම වෙනුවෙන් ත්‍රස්තවාදී කටයුතු නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට ලක්කළ අතර, රජය යුදමය වාතාවරණ යටතේ රට හැරගොස් සිටින ජනතාවට සිය මව්බිමට යළි පැමිණීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කෝට්ටේ පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා, ඩුලිප් ඩී සිගේරා පියතුමා, ගුණානන්ද ෂර්මා කුරුක්කුල්තුමා ඇතුළු ආගමික නායකයන් පිරිසක් සහභාගී වූහ.