ජොන්ස්ටන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ
කැබිනට් අනුමැතියකින් තොරව රුපියල් කෝටි 500ට අධික මුදල් වැයකරමින් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගෙන්වමින් මුදල් අවභාවිතයක් කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් පවත්වන විමර්ශනයකට පෙනී සිටීම සඳහා හිටපු වෙළඳ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (10දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීය.
DIG අනුර යළි රිමාන්ඩ්
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව කරනු ලැබූ පොලිස් විමර්ශනවලදී සාක්ෂි වසන් කිරමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එළැඹෙන 24 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිසි මහතා අද (10දා) නියෝග කළේය.
එසේම එම චෝදනා යටතේම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික මහතාද එදින දක්වා රිමාන්ඩ් කළේය. සිය දියණියගේ විවාහ උත්සවයට සහභාගීවීමට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලූ අවසරය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර අධිකරණයේ අවසරයකින් තොරව ඔහු කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන්නේ කෙසේද යන්න පිළිබඳව සෙයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
ඇමති චම්පිකගේ නඩුව කල් යයි
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියක ගැටී තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධියකට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව නැවතත් ලබන 31 දා දක්වා කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.