පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26දා) පාර්ලිමේන්තුවේදී ශෝක යෝජනා විවාදයකට සහභාගී විය. අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනාවේදී අදහස් දක්වමින ශෝක යෝජනාවකදී මෙලෙස සභාව ඇමතූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉතිහාසයට එක්විය.
හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා සාධාරණ සමාජයක් සඳහා සැමවිටම කැප වූ බවත් සාමාන්‍ය පොඩි මිනිසුන්ගේ අයිතිය,පිළිබඳව අවංක හැඟීමකින් කටයුතු කළ කෙනෙකු වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.
හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා මාගේ දීර්ග කාලීන මිත්‍රයෙක් වගේම ඥාතියෙක් ලෙස ඇසුරු කළ කෙනෙක්. මට එතුමා ඇසුරු කරන්නට ලැබුණේ, 1977 දී, එතුමා පොලිස් සේවයේ කටයුතු කරන අවස්ථාවේ දී. එතුමා දිසා ඇමැති නෙල්සන් මැතිතුමාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කළා.
එතුමාට දේශපාලන දර්ශනයක් තිබුණා. ඔහු පැහැදිලිව ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. ඒ නිසා ඔහුට දේශපාලන දඬුවම් ලෙස කල්මුනේට මාරුවීමක් ලැබුණා. ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කළ ඔහුගේ සේව තහනම් කළා. එතුමා මා සමඟ මිත්රශීලීව කටයුතු කළා. පොළොන්නරුවේ මා දේශපාලන කටයුතු කළා. එතුමාට අවශ්‍ය වුණා සේරුවිල මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන්න අවශ්‍ය වුණා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වුණා.
1989 දී එතුමා පාර්ලිමේන්තුවට ත්‍රීකුණාමලය නියෝජනය කරමින් පැමිණියා. මා පොළොන්නරුව නියෝජනය කළා. අප මිතුරන් විදියට බොහෝ රසවත් කතා, සිදුවීම් තිබෙනවා. දීර්ගකාලීන දේශපාලනයේ දී එතුමා ළඟින් ඇසුරු කළා. සැබෑ ලෙසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පමණක් නොව නැඟෙනහිර පළාතේ ප්‍රශ්න කෙරෙහි දැඩි කැපවීමකින් කටයුතු කළා. අවංක හදවතක් එතුමාට තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කළා වගේ ම 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස මා ඉදිරිපත් වූ අවස්ථාවේ දී මාගේ ජයග්‍රහනය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වුණත්, එතුමාගේ කරේ තිබූ නිල් සාඨකය ගැලවූවේ නෑ. කකුල් දෙකට පාවහන් දැම්මේ නෑ.
නැඟනහිර සිංහල ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළා. පොලීසියේ පොඩි මිනිසුන් ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා පොදු ජනතාව නියෝජනය කළා වගේම හෘද ස්පන්ධනය තිබුණේ, පොඩි මිනිසුන්ගේ හඩ පිළිබඳවයි. එතුමාට හොඳ හඬක් තිබුණා. කථිකත්වයක් තිබුණා. හදවතක් තිබුණා. පොඩි මිනිසුන් අමතක කළේ නෑ.
සාධාරණ සමාජයක් සඳහා ඔහු සැමවිටම කැපවුණා. සාමාන්‍ය පොඩි මිනිසුන්ගේ අයිතිය, පිළිබඳව අවංක හැඟීමකින් කටයුතු කළ කෙනෙක්. එතුමාගේ අභාවය පිළිබඳව දේශපාලන මිත්‍රයෙක් ලෙස දැඩි ශෝකයට පත්වෙනවා. එතුමා ජීවිතයේ සැප වින්ද කෙනෙක් නොවේ. ජීවිතයේ සැප නොලබා දුෂ්කර ජීවිතයක් ගත කළා. අපි එක බත් පත කෑ අයයි. එතුමා මගේ පෞද්ගලික කිට්ටු මිත්‍රයෙක් යැයි ද ජනාධිපතිවරයා සිය ශෝකය පළ කරමින් පැවසී ය.