ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර නොගන්නැයි පැෆරල් සංවිධානය රජයට පවසයි. මේ හේතුවෙන් රජය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් පවතින බවද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වනවිට සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පළාත් තුනෙහි නිල කාලය ඔක්තෝබර් මස පළමු දිනෙන් අවසන් වීමට නියමිත අතර, ඔක්තෝබර් 02 වැනිදා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම සූදානම් බවත්, දෙසැම්බර් මස මුල් සතිය තුළ මැතිවරණ පැවැත්වෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවත් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය නිශ්චිතව ප්‍රකාශ කළ යුතු බවත් පැෆරල් සංවිධානය පවසයි.
දැනටමත් පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල්දැමීම හරහා මැතිවරණ පැවැත්වීම සඳහා රජයේ ඇති නොකැමැත්ත ජනතාවට තහවුරු වී ඇති හෙයින් නිල කාලය අවසන් වන පළාත් සභාවලට කුමක් සිදුකරන්නේද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි.
මෙවැනි පසුබිමක් තුළ පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වන්නට රජය අවංක චේතනාවෙන් කටයුතු කළේ නම් කළයුතුව ඇත්තේ සියලු පළාත් සභා සමග සාකච්ඡා කර කඩිනමින් විසුරුවා නොහැරෙන පළාත් සභාවලද එකඟතාව සහිතව එම පළාත් සභා විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට කාලරාමුවක් තීරණය කිරීමයි.
නොඑසේ නම් පළමුවෙන්ම නිලකාලය අවසන් වන පළාත් සභා මැතිවරණ දිනටම සෙසු පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට කි‍්‍රයාකිරීමයි. මෙය නීති සංශෝධනයකින් තොරවද කළ හැකිය.
ඉදිරි පළාත් සභාවල නිලකාලය අවසන් වන්නේ අවස්ථා 4 ක් යටතේ ය.
2017 දී සබරගමුව පළාත් සභාව, නැගෙනහිර පළාත් සභාව, උතුරු මැද පළාත් සභාව/ 2018 ඔක්තෝබර් මධ්‍යම පළාත් සභාව, වයඹ පළාත් සභාව, උතුරු පළාත් සභාව / 2019 දකුණු පළාත් සභාව, බස්නාහිර පළාත් සභාව, ඔක්තෝබර් ඌව පළාත් සභාව
ඒ අනුව රජය පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කුමන කාලරාමුවක දැයි රටට හෙළිකළ යුතුය.
යම් හෙයකින් පළාත් සභා මැතිවරණ ක්රමයද වෙනස් කිරීමට තීරණය කළහොත් මැතිවරණ දින නියමයකින් තොරව කල්යෑමේ අවදානමක් පවතී.
එසේ වුවද ජනතාවගේ ඡන්ද අයිතිය කල්දැමිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙකක් හරහාද තහවුරු වී ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු.