පළාත් පාලන ආයතන මැතිවරණය ජනතාවට දිනා දීම සඳහා මහ පාරේ සටන් හැර වෙනත් විසඳුමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මැතිවරණය කල් දැමීම දේශපාලන කුමන්ත්‍රණයක් බවත්, මේ නිසා මෙම කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමට කොළඹට ජන ගඟක් කැඳවාගෙන ඒමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේදී අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආයතන 93ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය කැඳවා තිබෙන බවත්, මැතිවරණය කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට්ටුවේ ඇති මුද්‍රණ දෝෂ හේතුවෙන් ආයතන 40ක මැතිවරණය පැවැත්වීමට නම් අදාළ මුද්‍රණ දෝෂ ඉවත් කළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා අත්සන් කළ යුතු බවද ඔහු කියා සිටියේය.
එහෙත් එම ගැසට් පත්‍රය ජනාධිපතිවරයා මේසය උඩ තබා කොරියාවට ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයාට මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදයට වඩා කොරියාව ලොකු වී තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.