කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති බවත්, තමා ජනපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (28දා) පස්වරුවේ දකුණු කොරියාවේ සෝල් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව හමුවූ අවස්ථාවේදීය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පවසා සිටියේ රට නොකැඩෙන හා නොබෙදෙන දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙනයමින් සියලු ජාතීන් අතර විශ්වාසය හා සහෝදරයත්වය ගොඩනැගීම තම අරමුණ බවයි.
තමා බලයට පැමිණියේ රට පැවතියාට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ සිදුවූ වැරදි නිවැරදි කිරීමේ පිවිතුරු චේතනාවෙන් ශ්‍රී ලාංකිකයන්ට සාමයෙන්, සමගියෙන් සහ අනෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගීම තම අරමුණ බවද කියා සිටියේය.
එමෙන්ම තමා රට භාරගත්තේ යුද හමුදාව දුර්වල කිරීමට හෝ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට නොවන බවත්, මාතෘ භූමිය වෙනුවෙන් අංක එකට ඉටුකළ යුතුව තිබූ කාර්යයක් වූ ජාත්‍යන්තරය දිනාගැනීමේ අභියෝගය ජයගැනීම තම ප්රමුඛ අරමුණක් වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ලෝකයේ බලවතුන්ගේ උදහසට ලක්ව සිටි ශ්‍රී ලංකාව යළි ජාත්‍යන්තරයට සමීප කිරීමට ඉකුත් වසර තුන තුළ තමා සමත් වූ බවත්, කවුරුන් කෙසේ කීවත් අද තමන් රට වෙනුවෙන් සමස්ත ලෝකය දිනාගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එම යහපත් විදේශ ප්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර යුද අධිකරණ, ජාත්‍යන්තර විනිසුරුවන් මෙන්ම විදුලි පුටු ගැන කතා කළ පොත වසා දැමීමට කටයුතු කළද, ඉන් ජීවත්වන ඇතැම් පිරිස් එම පොත වසා දැමීමට සූදානම් නොමැතිව ජාත්‍යන්තරය හමුවේ අප විසඳාගත් කරුණු පිළිබඳව තවමත් කතා කරමින් සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අද සමස්ත රට තුළම විශාල සංවර්ධනයක් සිදු කරමින් සියලු ජනතාව අතර සාමය සහෝදරත්වය ගොඩනැගීමේ සංහිඳියා වැඩපිළිවෙළ ඉටුකිරීම සඳහා ද රජය කැපවී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.