කලාපීය සංවර්ධනයේ හදවත චීනය බවත්, දේශපාලන සහ ආර්ථික වශයෙන් ආසියාවේ පුළුල් සහයෝගිතාවක් ඇති කර ගත යුතු බවත් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා පවසා සිටියේය.
චීන ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා පැවති බොආඕ සමුළුවේ වාර්ෂික රැස්වීමේ ප්‍රධාන දේශනය සිදුකරමිනි. ආසියාවේ සහ සෙසු මහද්වීපවල රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් සහ ශාස්ත්‍රඥයන් සහභාගි වන ජාත්‍යන්තර සම්මේලනයක් ලෙස බොආඕ සමුළුව සැලකෙයි.
චීනය කලාපීය සංවර්ධනයේ හදවත වුවත්, චීනය සෙසු ජාතීන්ට සිය අභිමතය මගින් බලපෑමක් නොකරන බවද එහිදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම, චීනය තුළ පසුගිය කාලයේ වාර්තා වූ අඩු ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය අනුයෝජනයන් සකස් කර ගත යුතු බව පැවසූ ඔහු, කලාපීය වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ආර්ථික වැඩසටහන් පිළිබඳ සැලසුම්ද අනාවරණය කළේය.
ආසියාව පිළිබඳව ඇති සිය උදාර දැක්ම සිය දේශනය තුළින් විදහා දැක්වීමට උත්සාහ කළ චීන ජනාධිපතිවරයා, ආයෝජන බැංකුවක් සහ සැබෑ ජාත්‍යන්තර වෙළෙඳ මාර්ගයක් ලෙස ඉපැරණි සේද මාවත යළි ආරම්භ කිරීමේ සැලසුම් ගැනද අදහස් පළ කළේය.
කෙසේ වෙතත්, කලාපීය රටවල්, චීනයේ බලාපොරොත්තු මෙන්ම, කලාපීය ප්‍රශ්න කෙරෙහි චීනය දක්වන අධිකාරභාවය පිළිබඳව වඩාත් පරිස්සම්කාරී ස්වරූපයකින් අදහස් දැක්වීමටද ඔහු කටයුතු කළේය.