කර්මාන්තපුර 50 ක් බිහිකර රැකියා උත්පාදනය කිරීම රජයේ අපේක්ෂාව වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බියගම, මල්වාන නගරයේ අද(04දා) පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී වික්‍රමසිංහ මහතා මේබව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ජාතික ආණ්ඩුව යටතේ තරුණ තරුණියන් සඳහා රැකියා ලබාදීමට අප පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව මහනුවර සිට කොළඹ, හම්බන්තොට, වැල්ලවාය දක්වා කර්මාන්තශාලා රාශීයක් ඇති කිරීමට නියමිතයි. මහනුවර, මාවතගම, කුලියාපිටිය, මීරිගම, දිවුලපිටිය, හොරණ, අවිස්සාවේල්ල, මාතර ප්‍රදේශවල කර්මාන්තපුර 50 ක් පමණ බිහිකර රැකියා උත්පාදනය කිරීම අපේ අපේක්ෂාවයි.
කර්මාන්තකරණය ගමට ගෙන යා හැකි බව අප බියගම ප්‍රදේශයෙන් ඔප්පු කර පෙන්නුවා. රටේ අනෙක් ප්‍රදේශවලටත් එම දියුණුව ගෙන යනවා. මේ සියලූ දේ සිදු කිරීම සඳහා අපේ වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ. අප ඒ සඳහා අපනයන වෙළෙඳපොළ වැඩි කළ යුතුයි. යුරෝපය, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, මලයාසියාව ආදී රටවල් ගණනාවක් සමග අප ගිවිසුම් අත්සන් කොට අපනයන වෙළෙඳපොළ තවත් විශාල කර ගැනීම අපගේ අපේක්ෂාවයි.
තරුණයින්ට අනාගතයක් සොයා දීම සඳහා අපට යුතුකමක් තිබෙනවා. රැකියා කරන අයගේ වේතන ඊළඟ වසර 5, 6 ඇතුළත වැඩි කරන ක්‍රමවේදයක් අප ක්‍රියාත්මක කරනවා.
එක්සත් ජාතික පක්ෂය යනු ඉදිරියට යාමට සිතන අයගේ පක්ෂයයි. අපේ ජනතාව කිසිදිනක ඉදිරියට යාමට මිස පසු පසට යාමට සිතන්නේ නැහැ. 1966 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා සංචාරක ව්‍යාපාරය පිළිබඳව සඳහන් කළා. එවැනි සංචාරක කලාප ගණනාවක් ජාතික රජය යටතේ බිහිකිරීමට නියමිතයි. හලාවතින් පටන් ගෙන දකුණ හරහා නැගෙනහිර, උතුර, මධ්‍යම කඳුකරයේ සංචාරක කලාප ඉදිකෙරෙනවා. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මේ ප්‍රදේශවලට හඳුන්වා දිය යුතුයි. තොරතුරු තාක්ෂණික දැනුම මේ ප්‍රදේශවලට ගෙනෙන ආකාරය පිළිබඳව අපට අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගයට මුහුණදීම පිළිබඳව බියගම සංවිධායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් කල්පනා කළ යුතුයි. ඈත ගම්දනව්වල කර්මාන්ත, සංචාරක ව්‍යාපාර දියුණුවට පත් වන විට බියගම ඊට වඩා පියවරක් ඉදිරියෙන් සිටිය යුතුයි. යැයිද පැවසීය.