ශ්‍රී ලංකා රජයේ ආරාධනය මත දෙදින නිල සංචාරයක් සඳහා අද (31දා) දින දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා කොළඹදී හමු වී සංදේශයක් බාරදීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව යමින් මේ වනවිට රටවල් බෙදීමේ වැඩපිළිවෙළක ඔවුන් යෙදෙන බවත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි නොගසන ලෙසත්, ලංකාව බෙදා වෙන් කිරීමේ කටයුත්තක නොයෙදෙන ලෙසත් මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම සංචාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ බෑන් කී මූන් මහතාගේ සංචාරයට තම පක්ෂය විරුද්ධ නැතත්, ඔහු හමු වී සාකච්ඡා කිරීමට දෙයක් නොමැති බවයි.
මෙම සංචාරය අතරතුර බෑන් කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු, දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවීමට නියමිතය.
සැප්තැම්බර් 01 වැනිදා ගාල්ලට යන බෑන් කී මූන් මහතා සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීම සඳහා තාරුණ්‍යයේ භූමිකාව නම් තේමාව යටතේ පැවැත්වෙන වැඩසටහනකට එක්වීමට නියමිත අතර, සැප්තැම්බර් 02 වැනිදා යාපනයේ නැවත පදිංචි කිරීමේ ප්‍රදේශ නැරඹීමට නියමිත බවද එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සඳහන් කළේය.
ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්රමෝපායාත්මක අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සභාපතිවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සැප්තැම්බර් 02 වැනිදා කොළඹදී ‘ තිරසාර සාමයක් කරා - තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවාගැනීම ‘මැයෙන් පැවැත්වෙන උත්සවයක් ඇමතීමද මහලේකම්වරයාගේ සංචාරයට ඇතුළත් බව එම කාර්යාලය පවසයි.
බෑන් කී මූන් මහතාගේ සංචාරයේ ප්‍රගතිය පිළිබඳ දැනුම්දීම සඳහා සැප්තැම්බර් 02 දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.