වත්මන් ආණ්ඩුවේ සිටිමින් අග්‍රාමාත්‍යවරයාට පිංසිදු වන්නට මැති ඇමතිකම් ගෙන අගමැතිවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයට සහාය වූ සියලු දෙනා ජාතික ආණ්ඩුවෙන් එළවා දමා ඉතාමක් කෙටි කලකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍යඅමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තංගල්ල නගර සභාවට තේරී පත්වූ නව නගරාධිපතිවරයා වනරවිදු වෙදආරච්චි මහතා වැඩ බාරගැනීමේ උත්සවයට එක්වෙමිනි.
"අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ කල්ලිය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ආණ්ඩුවට එක්ව ඇමතිධුර දරමින්, ආණ්ඩුව තුළ සිටිමින්, ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ මැති ඇමතිවරුන් කවුරුන්ද යන්න ඉතාම පැහැදිලි වී ඇති බැවින් ඔවුන් මේ ආණ්ඩුවෙන් ඉවත් කර ජනතාවට කඩිනම් සේවයක් සලසන්න පුළුවන් පිරිසුදු ආණ්ඩුවක් නිසැකවම පිහිටුවීමට අපි කටයුතු කරනවා.ඒක අපි ළඟදීම කරනවා.විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී හොරු රැකගැනීමට හොරු සමග හෙළුවෙන් සිටි කණ්ඩායම කවුද කියලා අද මුළු රටේම ජනතාවට පැහැදිලි වෙලා තියෙනවා.ඒ නිසා තවදුරටත් අපට මේ හොරුන් සමග එකතු වෙලා ආණ්ඩු කරන්න පුළුවන්කමක් නෑ.පක්ෂයේ ඉහළ නායකයන් සමග සාකච්ඡා කර කඩිනමින් අපි තීන්දුවක් ගන්නවා.
අපි ඉන්නේ ජාතික ආණ්ඩුවක. පක්ෂ දෙකක් එකතු වෙලා මේ ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ නිසා අපට අවශ්‍ය ලෙසම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. නමුත් හැමවිටම අපි උත්සාහ කරන්නේ ඒ සේවය කෙලෙසක හෝ ඉටු කිරීමටයි.නමුත් ඒ සඳහා පිරිසක් අපේ කකුල්වලින් අදිනවා කියලා අපට දැන් තේරිලයි තියෙන්නේ.විශ්වාසභංයේදී ඒක අපට හොඳටම දකින්න පුළුවන් වුණා. අපේ ළඟ ඉඳගෙන මැති ඇමතිකම් ඇතුළු විවිධ වරප්‍රසාද ලබමින් අපට හිතවත් වගේ ඉඳගෙන අපිව අමාරුවේ දමන්නේ කවුද කියලා අපි මේ විශ්වාසභංගයේදී හොඳට දැනගත්තා.මේ විශ්වාසභංග යෝජනාවේ ජයග්‍රහණයත් සමග ඉදිරි දින කිහිපයේදී පිරිසුදු එක්සත් ජාතික පක්ෂයේ රජයක් අපි පිහිටුවන්න කටයුතු කරනවා" යැයි පැවසීය.
සූරියවැව ණුවන් ජයසේකර