ඉන්දීය සාගර කලාපය පිළිබඳ ගැටලු සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳාගනිමින්, අනාගත අභියෝග ජයගැනීමේ එකඟතාවකට පිවිසීම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දීය පදනම විසින් සංවිධානය කරනු ලබන‘2016 ඉන්දීය සාගර සමුළුව‘ සමාරම්භක උලෙළේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01දා) සිංගග්පූරුවේදී ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී එම්.ජේ. අක්බාර් මහතා හා පැවැති සාකච්ඡාවකදී ඉහත අදහස් දැක්වීය.
එසේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සබඳතා තරමටම ඉන්දීය සාගරය පිළිබඳ ඓතිහාසික සාධකද අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දියාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායක සහාය ලබාගැනීම සම්බන්ධවද දෙපාර්ශ්වය අතර කරුණු හුවමාරු වී තිබේ.
සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයේදී මෙම හමුව සිදුවූ අතර, ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ සංහිඳියාව තර කරලීම සඳහා ශ්‍රී ලංකාව දක්වන සහාය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය අක්බර් මහතා ප්‍රකාශ කළේය.
2016 ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක උලෙළ අද රාත්‍රියේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී ඉන්දීය සාගර කලාපයට බලපාන ආරක්ෂක, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
