ඉදිකිරීම් ක්ෂේත්රයේ 12.8% ක වර්ධනයක් අත්කරගෙන ඇති බවත්, කෘෂි කර්මාන්තයේ පවතින්නේ ඍණ 3.1% ක වර්ධනයක් බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (28දා) වියත්පුර මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු කොට්ටාව කුළසෙවනවත්තේදී ආරම්භ කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“මේ වසරේ හය මාසය නොයෙකුත් ගැටලු, ගැටුම් මැද අපි 3.9% ක සමස්ත ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ ආර්ථික වර්ධනය අපි අත්පත් කරගෙන තිබෙන්නේ නියඟය නිසා රටේ විශාල ප්‍රදේශයක් පීඩා විඳිද්දී කෘෂිකර්මාන්තයේ ඍණ 3.1% ක වර්ධන වේගයක් පෙන්වද්දී.
ඒ වගේම අපි කියන්න ඕනේ ඉතාම ආඩම්බරයෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ වර්ධනය මේ වසරේ පළවෙනි මාස 6 ඇතුළත 12.8% ක්. වරාය නගර ව්‍යපෘතිය, මහාමාර්ග අමාත්‍යාංශය යටතේ තිබෙන මාර්ග ව්‍යාපෘති සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය කාලයේ ලබාදුන් අනුමැතීන් සමග රට තුළ අද ඩොලර් බිලියන 10කට අධික ආයෝජනයක් පසුගිය වසර තුළ ගෙන ඒමට හැකිවෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය අපි බාරගන්න වෙලාවේ බිලියන 39 ක, එහෙම නැත්නම් මිලියන 39,000ක ණය බරක් තිබුණා, නමුත් අද අපි නාගරික සංවර්ධන අධිකාරිය ණයනැති, ලාභ උපයන ආයතනයක් බවට පරිවර්තනය කර තිබෙනවා.” යැයිද සඳහන් කළේය.