ගුවන් පාලක මැදිරිය වෙත ප්‍රතිචාර නොදැක්වූ ඇමෙරිකානු පෞද්ගලික ගුවන් යානයක් ජැමෙයිකාව ආසන්න මුහුදට කඩා වැටී ඇති බව එරට බලධාරීහු පවසති.
ජැමෙයිකා ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ එරට ඊසානදිග ඇන්තෝනියෝ වරායේ සිට සැතපුම් 14ක් පමණ දුරින් අනතුර සිදුව ඇති බවයි.
මීට පෙර ඇමෙරිකාව කියා තිබුනේ ගුවන් පාලක මැදිරියට ප්‍රතිචාර නොදැක්වූ යානයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඇමෙරිකානු F15 ප්‍රහාරක යානා 2ක් පිටත්කර හැරි බවයි.
අනතුරට පත් යානයේ ලැරී ග්ලේසර් නමැති ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ සිට ඇති අතර, ඔවුන් නිව්යෝක් හි රොචෙස්ටර් පදිංචිකරුවන් බව සනාථ වෙයි.
ඔවුන් දෙදෙනාම බලපත්‍රලාභී ගුවන් නියමුවන් බවද කියැවෙයි.
ජැමෙයිකා ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසා සිටින්නේ යානය කඩා වැටුනේ යැයි පැවසෙන ප්‍රදේශය ආශ්‍රිතව සාගරයේ තෙල් පැල්ලමක් දක්නට ලැබුණත්, යානයේ සුන්බුන් කිසිවක් නොමැති බවයි.
තම මුදාගැනීමේ කණ්ඩායමක් මේ වනවිටත් සිද්ධිය වූ ස්ථානයේ මෙහෙයුම් සිදුකරන බවද ඔවුහු පවසා තිබේ.
Socata TBM-700 b වර්ගයේ ගුවන් යානය 2014 දි නිෂ්පාදිත අලුත්ම ගුවන් යානයක් බවත් එය රොචෙස්ටර් සිට ෆ්ලොරීඩා දක්වා ගමන් කරමින් සිට ඇති බවත් වාර්තා වෙයි.