මේ වසරේදී නියඟය, ජල ගැල්ම හා ඩෙංගු ආදී ව්‍යවසන හේතුවෙන් ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි විශ්වාස කළද පසුගිය වසරට සමානව හෝ ඊට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් මේ වසරේදී ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
කන්දෙ විහාරයේ ආගමික වතාවත් සඳහා ඊයේ (30දා) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ නියගය, ජල ගැල්ම සහ ඩෙංගු ආදී ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි අප තුළ බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමානව හෝ ඊට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේ දී ළගා කරගත හැකි බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. එම ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මම ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.
හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46 – 47 ක් පමණ වියදම් කර තිබෙනවා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලුම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60% කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. නමුත් බිලියන 46 – 47ක් වැනි ප්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කර ගෙන අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැකියාව ආදී රටේ ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ. ඒ වගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව - රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතු ඔය ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා”.