ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් නොමැති බවට පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කළ ඊයේ (20) දිනයේදී පැහැදිලි වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින බැවින් දෙමළ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගැනීමට ආණ්ඩවට සිදුවූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව විසින් උත්තරීතර පාර්ලිමේන්තුව වියපත් වෛශ්‍යාවකගේ තත්ත්වයට පත්කළ බව මින් ඉදිරියට සෙංකෝලය වෙනුවට වසුරු කඳක් සභාගැබ හරහා ගෙන ගොස් කථානායවරයා ඉදිරිපිට තැබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ කතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සිටියද වෙනත් කතිකයන් යොදාගනිමින් විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂයට සිදුවූ බවද බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ අද (21) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම පවසා සිටියේය.