ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වත්මන් ආණ්ඩුවට එකතු වී සිටින්නේ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ වසන් කර ගැනීමේ චේතනාවෙන් බව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඉඩමක් නැති නිවසක් නැති මිනිසුන්ට බෙදා දීමට තිබූ ඉඩම් කට්ටි 06ක් වංචනික ලෙස ලබා ගත් පුද්ගලයෙකුද පසුගිය දා අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වූ බව අමාත්‍යවරයා සඳහන් කළේ ආඬිගම - කීරියන්කල්ලිය මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය.
මෙම ඉඩම් වංචාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මහතා ද සෘජුවම වගකිව යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. ප්‍රියංකර ජයරත්න වෙත එම ඉඩම් කට්ටි වෙන් කර දී ඇත්තේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝග හා උපදෙස් මත බව ද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය. මෙම ඉඩම් වංචාවේ වගකීම නිවාස සංවර්ධන අධිකාරියට ද පැවරෙන බවද හෙතෙම කීය.