වරකාපොළ, අල්ගම නගරයේ වෙළෙඳසැලකින් රටකජු පැකට්ටුවක් සොරකම් කළ බවට සැකකරමින් 16 හැවිරිදි දැරියකට පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු ඇප මත නිදහස් කිරීමට වරකාපොළ දිසා විනිසුරු යූ.බී.කුලතුංග මහතා ඊයේ (23දා) නියෝග කොට තිබේ.
අල්ගම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රසිරි නාපාගොඩ නැමති වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කොට ඇත.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ දැරිය වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම දැරිය තම මිතුරියන් සිව් දෙනෙකු සමග අමතර පංතියකට සහභාගී වීමට සැකකරුගේ වෙළෙඳ සැල ආසන්නයේ ගොඩනැගිල්ලක රැඳී සිට ඇත.
ඒ අතරතුර පහර කෑමට ලක්වූ දැරිය හා තවත් දැරියක් ඒ අසල වූ සැකකරුගේ වෙළෙඳසැලට යාබද වෙළෙඳ සැලට ගොස් රට කජු පැකට් දෙකක් මිල දී ගෙන තිබේ.
ඒ අතරතුර අනෙක් දැරියන් දෙදෙනා මන්ත්‍රීවරයාගේ වෙළෙඳ සැලට ගොස් සිට ඇති අතර යාබද වෙළෙඳ සැලෙන් රටකජු මිල දී ගත් දැරියන්ද තම යහළුවන් දෙදෙනා සිටි මන්ත්‍රී වරයාගේ වෙළෙඳසැලට පැමිණ ඇත. එහිදී ඇය යාබද වෙළෙඳසැලෙන් තමන් මිල දී ගත් දෑ යහළුවන්ට පෙන්වා නැවත ඇයගේ බෑගය තුළට දමා ගෙන තිබේ.
එය දුටු මන්ත්‍රීවරයා එය තමාගේ වෙළෙඳසැලෙන් දැරිය විසින් සොරා ගත් බවට සැක කරමින් දැරියට පහර දී ඇත. පසුව දැරිය ඔහු ඉදිරියේ දණ වැදෙමින් තමන් එය යාබද වෙළෙඳසැලෙන් මිල දී ගත් බව කීවත් එය පිළි නොගත් සැකකරු දැරියට පහර දුන් බව සිද්ධිය දුටුවෝ පවසති.
ඉන් අනතුරුව පසුව ප්‍රදේශවාසීන් විසින් දැරිය වරකාපොළ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (23දා) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වරකාපොළ දිසා විනිසුරු යූ.බී.කුලතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් සැකකරු දින 14ක් රක්ෂිත බන්ධානාගාරයේ තබන ලෙස නියෝග කරනු ලැබීය.