“රටේ සිදුවන අපරාධ රැල්ල දිනෙන් දින වැඩිවනවා. මේවා නවත්වන්න නම් පෝරකය ක්‍රියාත්මක කළ යුතුයි. එහි අළුගෝසුවා වන්නට මාත් සුදානම්” යැයි වසර 14 ක් රට දැය වෙනුවෙන් යුද හමුදා සෙබලෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින එක්දරු පියෙකු වන ටී.ආර් ගුණසේන (රාජා) මහතා පැවසුවේය.
මිහින්තලය පදිංචි 47 හැවිරිදි ටී.ආර් ගුණසේන මහතා 1996.10.31 වන දින වයස අවුරුදු 28ක්ව සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 06 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට එක්වු අයෙකි.
2008 මැයි 18 වන තෙක්ම ක්‍රියාන්විත රාජකාරියේ වසර 14 යි දින 11ක කාලයක් සේවය කල අතර මැයි 22 වනදා ඔහුගේ සේවා කාලය අවසන් කර තිබේ.
“මට අවුරුදු 13 ක දියණියක් ඉන්නවා. මේ බුදුන් වැඩි දේශයට අද මොකද්ද වෙලා තියෙන්නේ. හය හතර නොතේරන දරුවන්ට ලිංගික අපයෝජනයන් කරලා හිංසා කරලා මරා දානවා, මිනිස්සු දෙනෝදාහක් ඉදිරියේදී බල්ලො බලල්ලු ගානට මරා දානවා. රටේ නීතිය කොහෙද?
එල්ලුම් ගහ ගේන්න හදද්දී පාර්ලිමේන්තුවේ පිරිසක් කඹ අදිනවා.සේයා දුවට කලින් 2009 -2010 වසරේදී මිහින්තලය නෑටියගමදීත් අවුරුදු 03 ක විතර කුඩා දැරියක් දුෂණය කරලා මරා දැම්මා. ඒවා නිහඬව වැලලිලා ගියා. එදා මේවට පියවරක් ගත්තනම් අද මේ දෙවල් නැවතත් වෙන්නෙ නැහැ.
මට දෙන්න මේ වැරදිකරුවන් පෝරකයට නග්ගලා මරා දාන්න. මා සිදුකරන්නේ ජාතික මෙහෙවරක්. මට අණදෙන්න. මට පුළුවන් වැරදිකරුවෙකු පුවක් ගෙඩියෙන් පහරදී මරන්න,කැටපෝලෙන් විදලා මරන්න. හිස ගසා දාලත් මරන්නම්. වෙඩි තියලා මරන්න නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එල්ලුම් ගහෙත් ලිවරය ක්‍රියාත්මක කරන්නම්. මම කා සමගවත් අමනාපයෙන් නෙමෙයි මේ දේ කරන්නේ. රටට නිතීයක් අවශ්‍යමයි. නැත්නම් දිනෙන් දින මේ දේවල් වැඩිවෙනවා.
ජනාධිපතිතුමනි, අග්රාමාත්යතුමනි, මැති ඇමතිවරුනි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. රටේ නීතිය වෙනුවෙන් මා එහි අළුගෝසුවා වන්නම්. මම වැරදි වැඩ කර නැහැ. පොලිස් පොත්වල නම් නැහැ, උසාවි වල වරදකරුවෙක් වී නැහැ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.