ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ 8 වැනි කෝප් කමිටුවේ කටයුතු කළ සාමාජිකයින් 28 දෙනාගෙන් 05 දෙනෙකුම පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බව බැඳුම්කර කොමිසමේදී ඊයේ (16දා) හෙළි විය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු සිදු වන අතරතුර ඔවුන් අවස්ථා 148කදී මෙලෙස දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බව මෙන්ම ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සිදුවන අවස්ථාවේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා මුදල් අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කළ රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අය සමඟ අවස්ථා 476 කදී දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බව බැඳුම්කර කොමිසමේදී වැඩිදුරටත් හෙළි විය.
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් බැඳුම්කර සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ සිදු කළ රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක යසන්ත යෙහාන් ජයසිංහ මහතා මෙම දුරකථන සම්බන්ධතා පිළිබඳ තොරතුරු කොමිසම හමුවේ හෙළි කළේය.
සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ 8 වැනි කෝප් කමිටුවේ කටයුතු කළ සාමාජිකයින් 28 දෙනා අතුරින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවස්ථා 02කදීත්, ජාත්‍යයන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවස්ථා 62කදීත්, විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා අවස්ථා 02කදීත්, පාර්ලිමෙන්තු මන්තීවරුන් වන හෙක්ටර් අප්පුහාමි මහතා අවස්ථා 23කදීත්, සහ හර්ෂණ රාජකරුණා මහතා අවස්ථා 23කදීත්, වශයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැඳුම්කර කොමිසමේදී හෙළි විය.
මේ අතර 2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 ජුනි මස 20 වැනිදාත් අතර කාලයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අවස්ථා 387 කදී දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවත් 2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ අවස්ථා 84කදී දුරකථන ඇමතුම්ද අවස්ථා 37කදී එස්.එම්.එස්. පණිවිඩද යවා ඇති බවත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය සමඟ අවස්ථා 320කදී දුරකථන ඇමතුම්ද අවස්ථා 12කදී එස්.එම්.එස්. පණිවිඩද යවා ඇති බවත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිවරුන් වන ඔනෙල්ලා කරුණානායක මෙනවිය සමඟ අවස්ථා 18කදී දුරකථන ඇමතුම්ද සහ ෂෙනෙල් කරුණානායක මෙනෙවිය සමඟ අවස්ථා 05කදී එස්.එම්.එස්. පණිවිඩද යවා ඇති බවත් උප පොලිස් පරීක්ෂක යසන්ත යෙහාන් ජයසිංහ මහතා කොමිසම හමුවේ හෙළි කළේය.