මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක ඇතුළු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශණ නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අද (24දා) අර්ජුන් ඇලෝසියස් මහතාට නියම කළේය.
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර ඇතිවූ තත්ත්වයක් මත 2015 සහ 2016 කාලයන්හිදී අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම කොමිසම බාරයට ගන්නා ලෙස කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම එලෙස නියම කළේය.
මේ අනුව තම සේවාදායකයාගේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක ඇතුළු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණවල ඇති දත්ත තම සේවාදායකයා ඉදිරිපිටදීම ලබා ගන්නා ලෙසත් එම උපකරණවල ඇති දත්තයන් ලබා ගැනීමේදී ඒවා විනාශ නොවන ආකාරයෙන් ලබා ගැනීමට නියම කරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් අර්ජුන් ඇලොසියස් මහතා විසින් කළ ඉල්ලීම් අඩංගු දිවුරුම් පෙත්සමක්ද කොමිසමට ඉදිරිපත් කළේය.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොමිසම අදාළ ඉල්ලීම්වලට අවසර ලබා දුන්නේය.
බුද්ධිමාල් රුබේරු සහ රන්ජන් කටුගම්පොළ