භික්ෂූන් වහන්සේලා දහස්නමක් සඳහා ලබන 27 වැනිදා අරලියගහ මන්දිරයේදී ෆෙඩරල් දානයක් සූදානම් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25දා) පැවසීය.
පොලීසිය මාර්ගයෙන් මෙම දානයට සහභාගි වන්නැයි භික්ෂූන් වහන්සේලාට ආරාධනා පත්‍ර යවා තිබෙන බවත්, උන්වහන්සේලාට දානයට වැඩම කිරීම සඳහා අරලියගහ මන්දිරයෙන් වාහන ලබාදෙන අතර, එම වාහනවල පොලීසිය ගමන් කරන බවත් දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
" අගමැතිතුමා පසුගිය සිකුරාදා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා. මීට ලොකුම විරෝධය මතුවෙන්නේ මහා සංඝරත්නයෙන් බව එතුමා දන්නවා. නෝර්වේ සාමය වෑයම නමින් කළ බෙදුම්වාදී ව්‍යාපෘතිය කළ සමාලෝචනයේදීත් එම ව්‍යාපෘතිය අසාර්ථක වීමට වැඩියෙන්ම බලපෑවේ භික්ෂූන් වහන්සේලා.
මේ බව හොඳටම දන්නා අගමැතිතුමා ෆෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් මහා සංඝරත්නය දිනාගැනීමේ අරමුණින් අරලියගහ මන්දිරයේදී භික්ෂූන් වහන්සේලා දහසකට දානයක් සූදානම් කර තිබෙනවා. උන්වහන්සේලාට මේ ආරාධනා කරන්නේ දානය වළඳන්න නෙමෙයි. රට වළඳන්න. ෆෙඩරල් දානය වැළඳුවොත් දිරවන්න අපහසුයි. ඒ නිසා එම දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමී මහාසංඝරත්නයෙන් නමස්කාරපූර්වකව ඉල්ලා සිටිනවා'' යැයි පවසා සිටියේය.