අයහපත් කාලගුණයෙන් 663228ක් පීඩාවට
දිවයිනේ ගිනිකොණ දෙස පවතින අඩු පීඩන කලාපයේ බලපෑම නිසා ඇති වී තිබෙන අධික වැසි සහිත කාලගුණක තත්ත්වය මේ මස 28 වැනිදා දක්වා පවතින බවත්, ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් වැසි තත්ත්වය අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළං ඊසාන දෙසින් හමන බවත්. මේ නිසා නැගෙනහිර, ගිණිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍ර‘දේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේය.
මීට අමතරව දිවයින වටා මුහුදු තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 - 80 ත් අතර තත්ත්වයකට පත්විය හැකි බවත්, මේ නිසා ඒ පිළිබඳව ධීවර ජනතාව සැලකිලිමත් විය යුතු බවත් ඔහු පවසා සිටියේය.
වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වය නිසා උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල නිරන්තරයෙන්ම වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ මස 19 වැනිදා සිට පවතින අධික වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 25 න් 17කම ජනතාව පීඩාවට පත්ව තිබේ.
දිස්ත්‍රික්ක 17 ක පවුල් 180,678කට අයත් පුද්ගලයන් 650,635 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එම පිරිසෙන් පවුල් 22,941කට අයත් පුද්ගලයන් 80,736 දෙනෙකු ආරක්ෂිත නිවාස 334 ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා සඳහන් කළේය.
නිවාස හානි 14,885 ක් සිදුව තිබෙන අතර, මරණ 04 ක් සහ අතුරුදන්වීම් 02 ක් වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 124,071කට අයත් පුද්ගලයන් 443,691 ක් පීඩාවට පත්ව තිබේ. එම පිරිසෙන් පවුල් 12,012කට අයත් පුද්ගලයන් 41,419 දෙනෙකු ආරක්ෂිත නිවාස 103 ක රඳවා තිබේ.
මීට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 8879 ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 10,634 ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 10,781 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 9,715 ක්, යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,656 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 750 ක්, නුවරඑළිය පුද්ගලයන් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 845 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 2,185 ක් පීඩාවට පත්ව තිබේ.
මෙම පිරිසට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ 339 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 15,389 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36,169 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ 72,552 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 20,884 ක් වශයෙන් පුද්ගලයන් පීඩාවට පත්ව තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා රජරට ප්‍ර‘දේශයේ සියලුම වැව් සහ ජලාශ වාන් දමමින් තිබෙන බවත්, මීට අමතරව වැසි ඇතිවන ප්‍ර‘දේශවල තිබෙන සියලුම ජල මූලාශ්‍ර පිටාර මට්ටමට පැමිණ තිබෙන නිසා පහත් බිම්වල සිටින සියලුම ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමට මේ වනවිට රුපියල් මිලියන 73 ක් ලබා දී තිබෙන බවත්, මීට අමතරව තවත් මිලියන 200 ක මුදලක් වෙන්කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. මීට අමතරව හානි සිදුව තිබෙන සියලුම නිවාසවලට වන්දි ලබාදෙන බවත්, පොහොර සහනාධාරය ලබාගෙන තිබෙන සියලුම ගොවීන්ට, තම ගොවි බිම්වලට සිදු වී තිබෙනා හානිය අනුව වන්දි ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ/ හෙරල් සේනාධීර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

