අපිට රනිල්වත් ගන්න පුළුවන් - ජනපති
එක කෝපි කෝප්පයයි, රනිල් මෙතන
තිස්ස මාත් එක්ක කෝපි කෝප්පයක් බ්ව්වා විතරයි
එක කෝපි කෝප්පයකින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාද සන්ධානයට එක්කරගත හැකි බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11දා) සිය මංගල ප්රචාරක රැලිය අමතමින් අනුරාධපුරයේදී පැවසීය.
තම පක්ෂයෙන් කෙනෙකු යනවිට පක්ෂයට තව කෙනෙකු ගෙන්වාගැනීම එතරම් දෙයක් නොවන බවත්, තිස්ස අත්තනායක මහතා තමන් සමග කෝපි කෝප්පයක් පානය කර පක්ෂයට එක්වූ බවත් රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා, “අපෙන් කෙනෙක් ගත්තොත් අපිත් කෙනෙක් ගන්නවා. අපේ ලේකම් ගත්තා. අපිත් ලේකම් ගත්තා. දැන් ඕන නම් රනිල්වත් ගන්න පුළුවන්. එක කෝපි කෝප්පයයි රනිල් මෙතන. එයාල ඩොලර් දීලා කට්ටිය ගන්න හැදුවට අපි එහෙම වියදම් කරන්නෙ නෑ.
තිස්ස අත්තනායක සල්ලි දීලා නෙවෙයි ගත්තෙ. තිස්ස මාත් එක්ක කෝපි කෝප්පයක් බිව්වා විතරයි. අරයා, මෙයා යනවා කියලා මිනිස්සු කුලප්පු කරන්න හදනවා. ඒවට කුලප්පු වෙන්නෙ අපේ කට්ටිය. ඒත් ගමේ මිනිස්සු කුලප්පු වෙන්නෙ නෑ" යැයි සඳහන් කළේය.
“මේ මැතිවරණය අනාගතය තීන්දු කරන මැතිවරණයක්. 2005 දී ඔබ ඉල්ලුවේ යුද්ධෙ ඉවර කරන්න කියලා විතරයි. අපි ඒක කළා. අවුරුදු 30 ක යුද්ධය අපි අවුරුදු 04කට වඩා අඩු කාලයකින් ඉවර කළා. ඊළඟ සැරේ ඉල්ලුවේ මොකද්ද ? සංවර්ධනය. ඉතිං අපි ඒක කළේ නැද්ද? මගේ ඊළඟ බලාපොරොත්තුව අනුරාධපුරේ සෑම ගෙදරකටම බොන්න පානීය ජලය ලබාදීමයි. අපි සංවර්ධනය විතරක් නොවෙයි කරන්නේ.
මේ වකුගඩු රෝගය අවසන් කරනවා කියලා අපි ප්‍රකාශ කරනවා. ආබාධිතයන් වෙනුවෙන් අපි මුදලක් ගෙවනවා. මේ දේවල් කරන්නෙ මේ රටේ මිනිසුන්ගේ හදවත අපි දැකපු නිසා, ජනතාවගේ හදවත හඳුනාගෙන හිටපු නිසා. අපි අයවැයේ සෑම වචනයකටම ඇතුළත් කළේ දෙන දේවල්. මේ අයවැයේ පළමු වතාවට සීතල කාමරවලින් එළියට ඇවිත් ජනතාවගේ හදවත් දැකලා හදපු අයවැයක්* යනුවෙන්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. "සමහර නෝනලා අපට වෛරය, ක්‍රෝධය පතුරුවනවා, මඩ ගහනවා. අපි කාටවත් මඩ ගහන්නෙ නෑ. අපේ අත්වල ලේ ගෑවිලා නෑ. මේ රට සංවර්ධනය කරනවා නම් විනය අවශ්‍යයි, සාරධර්ම අවශ්‍යයි. ඒ සඳහා අපත් සමග ඔබ අත්වැල් බැඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා. හිසරදේට කොට්ටෙ මාරුකරලා බෑ. ස්ථාවර ආණ්ඩුව අස්ථාවර කරන්න ඉඩදෙන්නෙ නෑ. සිරියාවට, ලිබියාවට, ඊජිප්තුවට, ඉරානයට සිදුවුණ දේ මේ රටට වෙන්න දෙන්න අපට බෑ. ඔබ එයට ඉඩදෙන්නෙත් නෑ කියලා අපි දන්නවා. අපි පුද්ගලයො විදිහට නෙවෙයි, දේශපාලන පක්ෂ විදිහටයි සියලු දෙනා එකතුවෙලා ඉන්නෙ. ඒ කැඩී ගිය අයත් ටික ටික එනවා. මහින්ද චින්තනය ඉදිරියට ගෙනියන්න ජාතික ආරක්ෂාව, රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්නයි අපි තුන්වෙනි වරටත් ඉල්ලන්නේ."
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

