අනුරාධපුර මහ නගර සභාව මගින් පාලනය වන උද්‍යාන දෙකක් ඊයේ (23) වටලා පාසල් වයසේ පසුවන පෙම්වතුන් 152ක් පොලිස් භාරයට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා පවසයි.
අනුරාධපුර ශ්‍රී මහා බෝධි මාවතේ පිහිටි මල්අතු ඔය රිවර් පාර්ක් හා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය අසල පිහිටි නේචර් පාර්ක් නමින් හඳුන්වන උද්‍යාන දෙකේ සිදු කළ වැටලීම්වලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් වයසේ පසුවන පෙම්වතුන් මෙම උද්‍යාන දෙකෙහි අශෝභන ලෙස හැසිරෙන බවට මාධ්‍ය මගින් කළ හෙළිදරව් කිරීමෙන් අනතුරුව කළ වැටලීම සිදු කොට ඇත.
මෙම වැටලීමට පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 45 දෙනෙකු සහභාගි වූ බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් පෙම්වතුන් බස් රථ දෙකකින් පොලීසියට රැගෙන ආ බවත්, ඔවුන් උපකාර පන්තිවලට යන බවට නිවෙස්වලට පවසා අනුරාධපුර නගර අවටින් හා ගම්බද ප්‍රදේශවලින් පැමිණි අයවලුවන් බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.
පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසුව මෙවැනි ස්ථානවලට යෑමෙන් සිදුවන හානිකර තත්ත්වය පිළිබඳව පහදා දී තරයේ අවවාද කර මුදා හැරීමට පොලීසිය කටයුතු කර තිබුණි.
මෙම වැටලීමෙන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර ශ්‍රී මහා බෝධි මාවතේ පිහිටා තිබෙන රිවර් පාර්ක් නමින් හඳුන්වන උද්‍යානය එම ස්ථානයේ පවත්වාගෙන යාම නුදුසුසු බැවින් එය වසා දමන ලෙස අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.