ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්රදේශයේ අද (24දා) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 1105 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් හලාවත, ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේද සහය ඇතිව අළුයම් කාලයේ මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කළපුව අසල සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක් කරන ලදී. එහිදී, එම නිවස තුළ තිබී උර 35 ක අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1105 ග්රෑම් 700 ක පමණ තොගයක් සමඟ එම බීඩි කොළ තොගය රැගෙන ආ බවට සැකරෙන ඩිංගි යාත්රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ක් සහ 44 ක් වන මීගමුව ප්රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, ඩිංගි යාත්රා දෙක සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
