ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා
මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පද්ධතිය වේගයෙන් පිරී යමින් පවතී. රජයේ මෙන්ම පෞද්ගලික රෝහල් හා ප්‍රසිද්ධ හෝටලවල පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථාන පවා රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.
මේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමකි.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා........
දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.
මීට වඩා අසරණකමකුත් නෑ.
හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න....
~ තිලක්ෂණී මධුවන්ති ~



popular news
-
Demuni Uduwara Friday, 06 August 2021 08:08 AM
Govt has no vision for any matter. That's why we witness excessive deaths and contacts!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

