මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් හට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයෙකු, විහාරාධිපති හිමියන්ගෙ වීඩියෝ පටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොතේ පළ කර නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 100ක මුදලක් කප්පම් ලෙස ලබා දෙන ලෙස පැවසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව මිහින්තලේ පොලිසිය පවසයි.
මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවද පොලිසිය කියයි.
මිහින්තලේ ප්‍රදේශයේ හෝටලයක් පවත්වා ගෙන යන පුද්ගලයකු විසින් මුහුණු පොත ඔස්සේ "අසව් අසව් තොපි නටන්නෙ තව ටිකයි, වරම මගේ අතේ තොපි වැලලියව්" ලෙස ශීර්ෂයක් සටහන් කරමින් මීට දින කිහිපයකට පෙර වීඩියෝවක් මුදා හැර එය මේ වන විට ඉවත් කර ඇති බවද පොලිසිය කියයි.
දැනට කාන්තාවකගෙ නමින් පවත්වා ගෙන යන මුහුණු පොතේ පිටුවක එම වීඩියෝ පටය පළ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර ඇති බව පොලිසිය කියයි.
මෙම දුරකථන ඇමතුම ලබා ගෙන රුපියල් කෝටියක මුදල ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති එන්. එල් ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.