කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුවෙන් ඉහළ ඩොලර් ආධාර සහ කොයිකා (KOICA) වෙතින් පුළුල් සංවර්ධන ආධාර ඉල්ලමින් අමාත්‍ය පීරිස් මහතා යොමු කළ ඉල්ලීමට දකුණු කොරියානු විදේශ අමාත්‍ය චුන්ග් යුයි-යොන්ග් මහතා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහිදි ජල සම්පත් කළමනාකරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ද්විතීයික අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දකුණු කොරියානු සංවර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති වාසිදායක බලපෑම අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ නිෂ්පාදනය යනාදී ක්ෂේත්රවල ඉහළ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීමට දකුණු කොරියානු පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්නා බව කොරියානුු ජනරජයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
කොරියානු ජනරජයේ සෝල් නුවර දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මහතා අතර පැවැති සාකච්ඡාවේදි මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම හමුව අතරතුර දී වෙළෙඳාම සහ ආයෝජනය, දේශපාලන සහයෝගීතාව, ආරක්ෂක මුලපිරීම්, සංචාරක කර්මාන්තය සහ කම්කරු ගැටලු යනාදිය ප්රමුඛ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
දෙරට අතර පවත්නා වෙළඳ ශේෂය සැලකිය යුතු ලෙස දකුණු කොරියාවට වාසිදායක වන තත්ත්වයක් යටතේ පවතී. ශ්‍රී ලංකාවෙන් කොරියානු ජනරජය වෙත සිදු කෙරෙන අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 71 ක ආසන්න වටිනාකමකින් යුක්ත වන අතර, කොරියානු ජනරජය වෙතින් ශ්‍රී ලංකාවට සිදු කෙරෙන ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 192 ක් පමණ වේ. රස කළ තේ වැනි අගය එකතු කරන ලද නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම රේගු බදු ඇතුළුව විශේෂිත වෙළඳ බාධක කිහිපයක් ඉවත් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේද ගවේෂණය කිරීමට අමාත්‍යවරු සිය එකඟත්වය පළ කළහ.
මීට පෙර දකුණු කොරියානු ජනරජයේ ව්‍යවසායකයන් සඳහා ශ්‍රී ලංකාව තුළ විශේෂ ආයෝජන කලාපයක් පැවති බව පීරිස් මහතා සඳහන් කළේ ය. කොරියානු ව්‍යාපාරික සංගමය (KBA) එකල ශ්‍රී ලංකාව තුළ ඉතා ක්‍රියාකාරීව කටයුතු කොට ඇත. මෙම මුලපිරීම නැවත පණ ගැන්වීම පිළිබඳව සලකා බැලීම කාලෝචිත බව අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ අතර, ඒ සඳහා කටයුතු කිරීමට ද අධිෂ්ඨාන කර ගත්හ.
කොරියානු ජනරජය මගින් නාවික යාත්‍රා දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා යළි අවධාරණය කළේ ය.
