අනීෂා මානගේ
අපි පොහොට්ටුව හැදුවේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ එජාපයත් එක්ක මුක්කු ගහපු නිසායි. ඒ නිසා අපි වගකීමෙන් කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසිසේත්ම පොදුජන පෙරමුණ අත්හරින්නේ නැහැ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
නාමල් රාජපක්ෂ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට මහින්ද රාජපක්ෂ මහත්තයා සමහරවිට එයි කියලා මහින්ද අමරවීර ඇමතිතුමා කියා තිබුණා. අපි පැහැදිලිව වගකීමෙන් කියන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ අපි එදා 34 දෙනෙක් පොහොට්ටුව හැදුවේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න නෙවෙයි. ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා බණ්ඩාරනායක මැතිතුමා එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ එජාපයත් එක්ක මුක්කු ගහගන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ එජාපයත් එක්ක මුක්කු ගහපු නිසායි. ඒ නිසා අපි වගකීමෙන් කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසිසේත්ම පොදුජන පෙරමුණ අත්හරින්නේ නැහැ.
මේ පක්ෂය අපි කෙටි කාලයක් තුළ ලංකාවේ බලවත්ව දේශපාලන පක්ෂය බවට පත්කළා. අති බහුතරයක් ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කළා. ඉතිහාසයේ කවදාවත් නැති ජයග්‍රහණයක් එක්ක පක්ෂයෙන් අපි ජනාධිපතිවරයෙක් පත්කළා. මේ පක්ෂයේ අයිතිකාරයා පක්ෂයේ මහා මොළකරු මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ විධායක අගමැති බවට පත්කරන්නත් අපි කටයුතු කරනවා. චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පස්සේ ආසියාවේ සාමාජිකයන් වැඩිම පක්ෂය ලෙස ඉතිහාසගත වී තිබෙනවා.එය තවත් වර්ධනය කරනවා හැරෙන්න අපි වෙනත් පක්ෂ දිහා හැරී බලන්නේ නැහැ .
මැතිවරණ කොමසාරිස්තුමා කරන්න ඕනෑ පොඩි දේටත් ඡන්දෙ කල් දැමීම ගැන සාකච්ඡා කරනව වෙනුවට එයාගෙ රස්සාව ඡන්දෙ තියන එකයි. එයා පුළුවන්තරම් උත්සාහ කරන්න ඕනෑ ඡන්දෙ තියෙන්නෙ කොහොමද කියන දෙයට ක්‍රමවේදයන් හොයන්න. අපේ රටේ මැතිවරණ කොමිසමක් කියල එකක් තිබෙන්නේ ඡන්දය නොතියා ඉන්නයි. ඡන්දෙ කල්දාන්නයි. පොදුජන පෙරමුණ ලෑස්තියි එක රැස්වීමක්වත් නොතියා මැතිවරණයට මුහුණ දෙන්න. එතරම් අපිට රටේ ජනතාව විශ්වාසයි යැයිද කීවේය.
