පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි හත්සිය පනහකට ආසන්න රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයේ වහලය උඩ නැග අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය .
එම බන්ධනාගාරයේ රැඳවියන් තිහකට අධික ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වුවත් රැඳවියන්ගේ පි.සි.ආර්. පරීක්ෂණ කඩිනමින් කිරීමට බලධාරීන් ක්‍රියා නොකිරීම හේතුවෙන් තම ජීවිත අවදානම වැඩි වී ඇති බව පවසමින් බන්ධනාගාර බලධාරීන්ට විරෝධය දක්වමින් එසේ එම රැඳවියන් සිය විරෝධතාවය දැක්වීය .
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා බෝගම්බර පැරණි බන්ධනාගාරය වෙත යොමු කෙරෙන අතර ඔවුන් එහිදී දින 14ක් නිරෝධායන දීමෙන් අනතුරුවබන්ධනාගාර වෙත යොමු කරනු ලබයි .
විරෝධතාවේ යෙදුන විරෝධතාකරුවන් පවසා සිටින්නේ වෛරසය ආසාදනය වී තිබුණත් තමන් අතරින් බහුතරයක් පි.සි.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බවත් එම පරීක්ෂණ කඩිනමින් සිදුකළ නොහැකි නම් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවන ලෙසයි .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසා සිටියේ වෙන් වෙන් වශයෙන් රඳවා සිටි එම රැඳවියන් එක්වීම හේතුවෙන් කොරෝනා රෝගීන් තවදුරටත් පැතිර යාමේ පැතිර යාමේ අවධානමක් උද්ගතව ඇති බවයි.
කෙසේ නමුත් එම විරෝධතාවයේ නිරතව සිට රැඳවියන් අතරෙන් 250 පමණ පිරිසක් පි.සි.ආර්. පරීක්ෂණ සිදුකර අවසන් වීමෙන් අනතුරුව කෑගල්ල හා මීගමුව බන්ධනාගාර වලට යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (12) පියවර ගෙන තිබුණි .
ෂේන් සෙනෙවිරත්න