වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම නියම කළේය.
විත්තිකාර ඉන්දික සම්පත් මහතාට එරෙහිව කිසිඳු සාක්කියක් ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහුට එරෙහිව පියවර නොගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමක් ඒකමතිව පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
මෙම නඩුවේ සාක්කි විමසීම ආරම්භ කිරීමටත් මත්තෙන් රටින් පිටව ගොස් සිටීම හේතූවෙන් ඔහු නොමැතිව සාක්කි විභාග කළ අතර සාක්කි විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධිචෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවේ 03 වැනි විත්තිකාර විත්තිකාර ඉන්දික සම්පත් මහතා පමණක් අධිකරණයට ඉදිරිපත් නොවී සිටීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කෙරේ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ 03 වැනි විත්තිකාර ඉන්දික සම්පත් මහතාට එරෙහිව මේ වනතුරු කිසිඳු සාක්කියක් ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහුට එරෙහිව පියවර ගැනීමට අදහස් නැතැයිද ඔහු නිදහස් කිරීමට හැකියාව ඇතැයිද කීය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන කරුණු අනුව තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
සියලු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල 03 වැනි විත්තිකාර ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ඒකමතිකව නියම කළේය.
