2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් තමන්ව නම් කරමින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණායන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙන් සලකා බැලීම සිදුවිය.
පෙත්සම් සලකා බැලීම ආරම්භ කිරීමට පෙර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිසිදු නීතිමය පදනමක් නොමැතිව මෙම පෙත්සම ගොනු කර ඇති බව පැවසීය.
අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන මෙම නඩු විභාගය සම්බන්ධයෙන් මැදිහත් වීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
වසර 135 ක ඉතිහාසය තුළ නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරමින් මේ ආකාරයේ නඩුවක් ගොනු කර නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.
පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් වසර 10 ක කාලය තුළ විමර්ශන සිදු කළත් එහිදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළේය.
අදාල කාල සීමාව තුළ පුද්ගලයින් 150 කට අධික පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එහෙත් තම සේවාදායකයා විසින් අදාළ තරුණයින් පැහැර ගෙන ගොස් සිරකර තබා මුදල් ලබාගැනීම හෝ ඔවුන් මරා දැමු බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව පැවසුවේය.
එහෙත් නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කර පසුව නාවික හමුදාපති ධූරයට පත් ට්‍රැවිස් සින්නයියා විසින් 2017 වසරේ පොලීසියට ලබා දුන් ප්‍රකාශයකින් පසුව තම සේවාදායකයා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කෙරුණ බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
2015 වසරේ ආණ්ඩු මාරුවෙන් පසු මෙම විමර්ශනය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්යක්ෂ ශානි අබේසේකර ගේ උපදෙස් මත එවක එහි සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් බවත් ඔහු මේ වනවිට ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පැවසීය.
එම නිලධාරීයා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවය මත විමර්ශන මෙහෙය වූ බවද ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.
ඒ අනුව සිද්ධිය සිදුවී වසර 10 කින් පසුව කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම නඩුවේ විභාගය අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ප්‍රථම පිළිබඳ වැඩිදුර සලකා බැලීම මේ මස 25 වන දා තෙක් කල් තැබුණි.
