ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳ පොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කර තිබේ.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඬුල්ල විසින් ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව දැනට වෙළෙඳ පොළ වෙත මුදාහැර ඇති, භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ. එසේම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබීය.
එසේම දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙසට අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණු අතර, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ ලෙසද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර ඇත.
අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය එය ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.
නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන 20දා පැවැත්වීමට නියමිතව තිබුණද එම රැස්වීම හදිසියේ ඊයේ දියේ පැවතුණු බව සඳහන් කර ඇත.
එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු "ප්‍රොපේන්" සංයුතිය 30%ක් විය යුතු බවට තීන්දු කෙරෙන බව ද රජයේ නීතිඥවරයා දැනුම් දී තිබේ.