වැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමණාකරණ පද්ධතිය, නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජන ගත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කලේ විශේෂයෙන් මත් ද්‍රව්‍ය සම්බන්ධව සිදු වන අපරාධ ක්‍රියාවලියේදී මත් ද්‍රව්‍ය ගෙන්වනු ලබන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්, ලංකාව තුළ බෙදා හරින පුද්ගලයින්, සමාජය තුල ප්‍රවාහනය කරන්නන්, මෙන්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව පීඩාවට පත්ව සිටින වින්දිතයින් ද සිටින බැවින් ඔවුන් වෙන්ව හදුනා ගත යුතු බවයි.
ජාවාරම්කරුවන්ට හා බෙදා හරින්නන්ට දැඩි දඩුවම් ලබාදීම සිදු කර ඇබ්බැහිව සිටින වින්දිතයින් පුනරුත්ථාපනය කර වෘත්තිය පුහුණුව ලබාදී යහපත් පුද්ගලයින් ලෙස සමාජ ගත කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මත් ද්‍රව්‍ය සම්බන්ධව වාර්තා ලබාදීමේ දී මාස 8 ක පමණ කාලයක් ගත වු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමේ කාලය මසක කාලයක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවත්, එය සති දෙකක කාලයක් දක්වා අඩු කිරීම බලාපොරෙත්තු වන බවත් ඔහු පැවැසීය.
රස පරීක්ෂක වාර්තා අඩු කාලයකින් ලබාදීමේ ක්‍රමවේදය හරහා අදාළ පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාර්යක්ෂම කිරීමට හැකි බවත්, ඒ සදහා එම දෙපාර්තමේන්තුවේ ධාරිතාව උපරිම වශයෙන් වැඩි කිරීමට කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.