“පාර්ලිමේන්තුවේ එක හොරෙක් අඩු කරන්න නම් ජාතික ජන බලවේගයේ කෙනෙක් එයට යවන්න.හොරු දෙන්නෙක් අඩු කරන්න නම් ජාතික ජන බලවේගයේ දෙන්නෙක් යවන්න. හොරු තුන්දෙනෙක් හතරදෙනෙක් පස්දෙනෙක් දහදෙනෙක් අඩු කරන්න නම් ඒ හා සමාන ගනණක් ජාතික ජන බලවේගයෙන් යවන්න” යයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (27දා) පස්වරුවේදී අම්බලන්ගොඩදි කීවේය.
ජාතික ජන බලවේගයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ගාලු දිසාවේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට අම්බලන්ගොඩ පැවති ජන හමුවකදී ඔහු එසේ කීවේය.
“පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙසිය විසිපහම ජනතාවට එපාවෙලා තියෙන අවධියකයි මේ මැතිවරණය ආවේ. ඒකනේ ජනතාව කියන්නේ කොරෝනා හැදෙන්න ඕන පාර්ලිමේන්තුවට කියලා.පාර්ලිමේන්තුව දියවන්නාවේම ගිලා බහින්න ඕන කියලා.පාර්ලිමේන්තුවේ හැමෝම නරක නැහැ.
අලුත් පාර්ලිමේන්තුවට යවන්න ඕන අලුත් මන්ත්රීවරු. දැන් බලන්න මහින්ද මහත්තයාගේ කණ්ඩායමේ ඉන්නේ පරණ කට්ටියම. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණත් ඒ දොගොල්ලෝම ළඟ ඉන්නේත් පරණ කට්ටියම. රටේ වංචාවලට ,දූෂණයට ,මත් කුඩු ජාවාරම්වලට කප් ගහපු අය තමයි මේ සියලු කණ්ඩායම්වල ඉන්නේ.
ඒ අය ගියාට පාර්ලිමේන්තුව අලුත් වෙන්නේ නැහැ. අලුත් පාර්ලිමේන්තුවට මේ අය ගියාම ආයෙත් පරණ වැඩම පටන් ගන්නවා. ආයෙත් වතාවක් අපිට තියෙන්නේ පරණ පාර්ලිමේන්තුවමයි.
එක්සත් ජාතික පක්ෂය අද දෙකට කැඩිලා.දෙගොල්ලෝම කියනවා එක් එක් අය ආණ්ඩුව සමග ඩීල දානවා කියලා.අපි කියනවා මේ දෙගොල්ලෝම ආණ්ඩුව සමග වෙන් වෙන්ම ඩීල දානවා කියලා. මහ මැතිවරණයෙන් පසේ රනිල් පාර්ශවය හෝ සජිත් පාර්ශවය ආණ්ඩුව සමග එක්වී ජාතික ආණ්ඩුවක් හදනවා. සමහරවිට මේ දෙපාර්ශවයම ආණ්ඩුව සමග එක්වී ජාතික ආණ්ඩුවක් හදාවී. ජාතික ජන බලවේගය නම් කවුරුවත් සමග එකතුවී ජාතික ආණ්ඩු හදන්න යන්නේ නැහැ.”
කරන්දෙණිය සුසිල් ප්රියන්ත