සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය යටතේ වන යාපනය කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එම නිරීක්ෂණයෙන් අනතුරුව පැවැති විශේෂ රැස්වීමක දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි.
ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා කයිතඩ් සිද්ධ ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි රෝහල් කාර්ය මණ්ඩලය සමඟ මෙම විශේෂ රැස්වීම රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහලේ 2025 උපාය මාර්ගික අරමුණු, බාහිර රෝගී අංශයේ රෝගීන් පිළිබඳ තොරතුරු, ඖෂධ නිෂ්පාදන ඒකකයේ නිෂ්පාදන කටයුතු, ඉගැන්වීම් සහ පුහුණු කටයුතු, ක්‍රියාත්මක ව්‍යාපෘති, යටිතල පහසුකම් සංවර්ධනය, නව සායන ස්ථාපිත කිරීම, පර්යේෂණ කටයුතු, මානව සම්පත සහ රෝහල සඳහා අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා පිළිබඳව මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
මෙරට බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් නොව දේශීය ආයුර්වේද, සිද්ධ, යුනානි යන ක්ෂේත්රයන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන බවත්, මෙවර අයවැයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව වැඩි මුදලක් දේශීය වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වෙන් කර තිබෙන බව ද මෙහි දී පෙන්වා දෙන ලදී. මෙරට ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන සියලු වෛද්‍ය ක්රමයන්ට අවශ්‍ය තැන ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේ මූලික වගකීමක් බවත්, ක්ෂේත්‍ර නොසලකා සිටිමට හෝ අඩු සැලකිලි දැක්විය හැකි ක්ෂේත්රත් නොවන බව ද පැවැසී ය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය විධිමත් කිරීමේ රජයේ නව වැඩපිළිවෙල යටතේ මේ වසරේ එම ප්‍රාථමික සත්කාර ඒකක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් වසර තුනක් තුළ ප්‍රාදේශීය මට්ටමින් නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිත කිරිමට බලාපොරොත්තු වන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා එම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000 තුළ ම නොවුනත් ඒ ඒ ප්‍රදේශය අනුව ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය ක්රමයන් හදුනාගත් සහ අවශ්‍ය තැන් වල දී ඒකාබද්ධ කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. මෙම මධ්‍යස්ථාන ඖෂධ ලබාදෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් නොවන බවත්, සුවතා මධ්‍යස්ථාන ලෙස හැදින්විය හැකි බව ද පැවසී ය.
සංචාරක සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් වසරකට ලක්ෂ 40 ක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සුපරා ගත හැකි බවත්, දැනටත් මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන හේතුවක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ආයුර්වේද, සිද්ධ, යුනානි ප්‍රතිකාර සේවාවන් පෙන්වා දිය හැකි බව ද පැවසී ය. මුහුදු වෙරළ වෙනුවෙන් මාලදිවයිනට යන සංචාරකයින්ට අමතරව මෙවැනි ආකාරයේ ප්‍රතිකාර ලබාගැනිමට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි කර ගත යුතු බවත්, මෙම ක්‍රමවේද දෙක තුළ පමණක් ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ට රැකියා ලබාදීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දෙන ලදි.
ආයුර්වේද ක්ෂේත්රයේ වෛද්‍යවරුන් 304 ක් සදහා පත්වීම් ලබාදීම අනුමතව ඇති බැවින් එම පත්විම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි. තවත් 1000 කට වඩා සිටින බවත් මේ ක්ෂේත්රයේ සියලු දෙනාම රජයට බඳවා ගත නොහැකි බවත්, සීමාවාසික පුහුණූව ලබාදුන් පසු මෙරට හෝ විදෙස්ගතව සේවය කරන්න අවස්ථාව ඔවුන් සඳහා සලසා දිය හැකි බව ද තව ඉදිරි පියවරක දී රජයට බඳවා ගෙන ඉන් යම් ප්‍රමාණයක් සංචාරක ක්ෂේයට ලබාදිය හැකි ද යන්න පිළිබඳවත් අවධානය යොමු කර තිබෙන බව ද පැවසී ය. මේ ක්‍රියාවලින් තුළින් ඉදිරියට ගමන් කිරීමේ දී කයිතඩ් සිද්ධ ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමේ හැකියාව පවතින බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කර හොඳ පිළිතුරක් ඉදිරියේ දී ලබාදිය හැකි බව ද පැවසී ය.
වෛද්‍යවරු 16 ක් සිටින කයිතඩ් සිද්ධ ශික්ෂණ රෝහලට දැනට සිටින දෙදෙනෙකුගෙන් යුත් හෙද කාර්ය මණ්ඩලය කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව ද ඉදිරියේ දී අවශ්‍ය හෙද කාර්ය මණ්ඩල ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු නැගෙනහිර සේවය කරන හෙද නිලධාරින්ට වසර 03 කින් ස්ථානමාරු ලබාදෙන බවත්, ආයුර්වේද රෝහල්වල ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ආයුර්වේද රෝහල්වල හෙද කාර්ය මණ්ඩල වලට පමණක් එවැනි අසාධාරණයක් සිදු විය නොහැකි බව ද පැවසී ය.
ඔසු උයන්වලින් ලැබෙන ආදායමට සාපේක්ෂව ආයුර්වේද ක්ෂේත්රයේ රෝහල්වල ගෙවන වාට්ටු ඉහළ ආදායම් උපයා තිබෙන බවත්, මෙම ක්ෂේත්රය සංචාරක ව්‍යාපාරය සමග දියුණු කිරිමට බලාපොරොත්තු වෙනවා නම් ඔසු උයන් රෝහල් පද්ධතිය මේ වෙනුවෙන් විවෘත කරන ලෙස තමන් යෝජනා කරන බවත්, සිද්ධ ආයුර්වේද, යුනානි වෛද්‍ය ක්‍රමවේද හරහා මුදල් ඉපයීමට හැකි පරිදි නවීකරණය කළ යුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහයෝගය රජය ලබාදෙන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ආයුර්වේද සහායක කාර්ය මණ්ඩල ප්‍රශ්ණයට වැඩිකල් නොයවා විසදුම් ලබාදිය හැකි වනු ඇති බව ද වැඩිදුරටත් පැවැසී ය.
උතුරේ දෙමළ ජනතාව අතර සිද්ධ වෛද්‍ය ක්‍රමය ප්‍රචලිතව පවතින අතර, ශ්‍රී ලංකාවේ ජනගහනයේ භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීම මගින් සිද්ධ වෛද්‍ය ක්‍රමය තුළින් රෝගීන්ගේ සත්කාර සහ වෛද්‍ය අධ්‍යාපනයේ ඉහළම ප්රමිතීන් සහතික කිරීම සිය ඉලක්කය කර ගනිමින් කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහල සිය සේවා සපයනු ලබයි.
දේශීය වෛද්‍ය අංශය ශික්ෂණ රෝහල් 04 ක ජාලයකින් යුක්ත වන අතර, බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල, යක්කල ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය සිද්ධ ශික්ෂණ රෝහල සහ කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහල එම ශික්ෂණ රෝහල් වේ.