මොළය මියගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
අවයව දන්දීම සඳහා මරණයට පෙර කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් වසරකට 750-1000ත් අතර ප්රමාණයකගේ අවයව ප්‍රයෝජනයට ගැනීමකින් තොරව මිහිදන් කෙරෙන බැවින් මරණයෙන් පසු අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි අරමුණ වේ.
මොළය මියගිය අයගේ අවයව බද්ධ කිරීම, කාලයක සිට ලොවපුරා සිදු කෙරෙමින් පවතින ශල්‍යකර්මයකි. මොළය මිය යෑම හේතුවෙන් මරණයට පත්ව, දැඩිසත්කාර ඒකකවල හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකි අතර, විශේෂයෙන්ම වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි.
විශේෂයෙන්ම, මෝටර් රථ හදිසි අනතුරු මොළය මියයෑමේ මරණ සිදුවීමේ ප්‍රධාන හේතුවක් වන අතර, ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම 2500කට වැඩි පිරිසක් මෝටර් රථ හදිසි අනතුරු හේතුවෙන් මියයන බව ගණන් බලා තිබේ..