ජය ශ්රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත 20ක් ගායනා කිරීම, ප්රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එය විභාග කිරීමෙන් අනතුරුව අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයන් දෙදෙනාට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරුණු අතර, එම වාරණ නියෝගය ලබන 31දා දක්වා බලපැවැත්වෙන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා නියෝග කළේය.
පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව "ජය ශ්රී" යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිටවූ බවය. කෙසේ වෙතත් වගඋත්තර කරුවන් දෙදෙනා මේ වනවිට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර, ඔවුන් තම අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත්, එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.