ජනතාවගේ ජීවිත සමග කරනු ලබන අමානුෂික බියගුළු පලිගැනීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බිහිසුණු සහ අවාසනාවන්ත ඉරණමක් වෙත වර්තමාන ආණ්ඩුව රට තල්ලු කොට ඇති අතර, ඒ සියල්ල මැද මැති ඇමතිවරු සුරංගනා ලෝක මවමින් සෞභාග්‍යය පිළිබඳ පුරසාරම් දොඩමින් සිටින බවද එහි සඳහන් කර ඇත.
අදාළ නිවේදනය මගින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
&ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අංශුමාත්‍රයක හෝ ඵලදායී යමක් නොකළ ආණ්ඩුවක් ලෙස ඉතිහාස ගත වී ඇති වර්තමාන ආණ්ඩුව, පසුගිය කාල සමය පුරාම මෙරටට උරුම කර දී ඇත්තේ මොනතරම් ඛේදජනක අවාසනාවන්ත තත්ත්වයක් දැයි දිනෙන් දින සිදුවන සිදුවීම්වලින් ම තහවුරු කරගත හැකි වේ.
එහි ආසන්නම සිදුවීම වාර්තා වන්නේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් ගොවි ජනතාවට ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යාමය.
මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් දෙසීයක් පමණ ලබා දුන් බවත්, මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පතාන ගොවි සංවිධානයෙන් වාර්තා වේ. එපමණක් නොව, රට පුරා මේ අන්දමට අදාළ පොහොර කෑන් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වන අතර, ඒ සියල්ලෙන් ඔප්පු වන්නේ ආණ්ඩුව මොනතරම් නින්දාසහගත ලෙස මෙරට ගොවි ජනතාව රැවටීමට ලක්කොට ඇත්ද යන්නයි.
ඔවුන් වෙත ලබා දෙන පොහොර පිළිබඳ කිසිදු ප්‍රමිතියක්, තත්ත්ව සහතිකයක්, විශ්වසනීයත්වයක් සහ සෞඛ්‍ය ආරක්ෂිත බවක් නොමැති අතර, කොහේ හෝ සිටින ගජමිතුරු කල්ලියකට මේවායේ වාසිය හිමිවන බව නම් සහතිකය.
ඉතිහාසයේ කිසිම යුගයක මේ රටේ කිසිදු පාලකයෙක් ගොවි පරපුරට මෙතරම් දුර්භාග්‍ය සම්පන්න ඉරණමක් පත් කොට දී නොමැති අතර, ආණ්ඩුවේ මේ දුර්ධාන්ත කටයුත්ත සහ වගකීම් විරහිත තීරණය හේතුකොට ගෙන එක් අතකින් රටේ ගොවි පරපුරත්, අනෙක් අතින් රටේ ආර්ථිකයත් දශක ගණනාවකට ගොඩගත නොහැකි ලෙස අගාධයකට ඇද වැටීම වළක්වාලිය නොහැක.
වර්තමාන ආණ්ඩුව බලය ලබා ගත් මොහොතේ සිට සිදු කළේ මෙරට පුරවැසි පරපුර පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම සහ හිතුවක්කාරී අන්තනෝමතික තීන්දු තීරණ කරළියට ගෙන එමින් සමස්ත රටම බරපතළ අර්බුදයකට තල්ලු කිරීම ය.
විශේෂයෙන්ම තවදුරටත් මේ රට තුළ දිනපතා කොරෝනා මරණ සිදුවන අතර, ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකරන අතර, මේ වනවිටත් කොරෝනා මරණ ප්‍රමාණය 15,000ට සමීප වී තිබේ.
ගෑස් ආශ්රිත පිපිරීම් 620කට අධික ප්‍රමාණයක් රට පුරා වාර්තා වන අතර, මේ පිළිබඳ නිශ්චිත පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව සිටී.
මේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ. වගකීමක් නැති පාලකයන් විසින් මුළු රටම අනතුර වෙත හෙළා තිබේ. විදේශිකයින්ට සහ ගජ මිතුරන්ට ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මතු පරම්පරාවේ උරුමයන් වනසා දමා තිබේ.
දේශීය සම්පත් සියල්ලම පාහේ කුණු කොල්ලයට හිතුමනාපෙට, තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ සලකා පිට රටවලට විකුණා දමමින් සිටියදීත් කැබිනට් මණ්ඩලය සිග්නල් කණු බවට පත්ව සිටී.
රටේ බලශක්තිය පිළිබඳ ආරක්ෂාව මේ වනවිටත් පාවා දීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.
මෙවන් බිහිසුණු සහ අවාසනාවන්ත ඉරණමක් වෙත වර්තමාන ආණ්ඩුව රට තල්ලු කොට ඇති අතර, ඒ සියල්ල මැද මැති ඇමතිවරු සුරංගනා ලෝක මවමින් සෞභාග්‍යය පිළිබඳ පුරසාරම් දොඩමින් සිටී.
අප මේ මොහොතේ ආණ්ඩුවට අවධාරණය කොට සිටින්නේ ජනතාවගේ ජීවිත සමග කරනු ලබන මේ අමානුෂික බියගුළු පලිගැනීම නවත්වන ලෙසයි* යැයි වැඩිදුරටත් සඳහන් කර ඇත.