කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අහසින් පාත් වුණු ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අයිතිකරුවන් ලෙස පෙනී සිටන බව පැවසු ඇමතිවරයා පොහොට්ටුව විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද අවධාරණය කරයි.
ජා-ඇල ප්‍රදේශයේ පහුගිය දා (17) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“ අපි පොහොට්ටුව හැදුවේ තර්ජන මැද්දේ. අද දකුණු ආසියාවේ ශක්තිමත් ම දේශපාලන පක්ෂයක් බවට පොහොට්ටුව පත් වෙලා ඉවරයි. අපි දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ නිසා පොහොට්ටුව විනාශ කරන්නේ කිසිවෙකුට ඉඩ දෙන්න බෑ. ඒකට හුගදෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. මිතුරු වෙසින් එන සතුරන් පොහොට්ටුව විනාශ කරන්න හදනවා. පොහොට්ටුව රැකගන්න අපි ඕනෑම කැපකීරීමක් කරන්න ලෑස්තියි.
මේ දවස්වල අහසින් පාත් වෙච්ච මිනිස්සු එනවා ඔබේ ඡන්දය ඉල්ලගෙන. පසුගිය පළාත් පාළන මැතිවරණයේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දි අපි ඒ අයව දැක්කේ නෑ. මේ අය පෙනී ඉන්නේ ගෝඨාභය මහත්තයාගේ අයිතිකාරයෝ වගේ. මගේ වගකීම පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පහුගිය වසර හතර හමාරේ දුක් විදපු අය වෙනුවෙන් පෙනී සිටීම. මම ඒක ඊයෙත් කළා. අදත් කරනවා, හෙටත් කරනවා. පොහොට්ටුවෙන් ඉල්ලන හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. ඒක බැසිල් ඇමතිතුමාත් කිව්වා.
මම මෙහෙම කථා කරනකොට සමහර අය කැමති නෑ. සමාජ මාධ්‍ය භාවිතා කරලා මට මඩ ගහන්න පටන් අරන්. මම කට අරිනවාට යහපාලන නඩය බයයි. යහපාලන සෙට් එකට තියෙන අභියෝගය ප්‍රසන්න රණතුංග. මට නම් මේ අය අභියෝගයක් නෙමෙයි. මට ගහන්න ඉස්සෙල්ලා ගෑවුණු මඩ සෝදගෙන එන්නයි මම ඔවුන්ට කියනවා.
පසුගිය දවස්වල මිනුවන්ගොඩ කුඩු ජාවාරමත් ඇල්ලුවා. මේක යහපාලන ආණ්ඩුව කාලේ ඉදලා කෙරුණ එකක්. යහපාලන ආණ්ඩුව මේ ගැන කිසිම පියවරක් අරන් තිබුණේ නෑ. අපි පත්වුණාට පස්සේ ගමේ පන්සලේ රැස්වීමක් තියලා පොලිසීයත් ගෙනල්ලා පොලිස්පතිතුමාටත් කියලා මේ කුඩු ජාවාරම මැඩලන්න කිව්වා.
ඒ අනුව තමයි ඔය නාකොටික් ජාවාරම හෙළි වුණේ. පහුගිය යහපාලන කාලේ මහා පරිමාණයෙන් පාතාලය හා කුඩු ජාවාරම ගම්පහ දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වුණා. ඒවා අල්ලන්න කවුරුත් කටයුතු කළේ නෑ. යහපාලන ආණ්ඩුව කළේ මේ කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් අයට ජනාධිපති සම්මාන ලබා දීමයි.
පහුගිය කාලේ සතොස ලාංඡනය ගහගෙන කුඩු ජාවාරම කෙරුණා. නැව් පිටින් රටට ආපු කුඩු ඇල්ලුවා කිව්වා. හැබැයි ඒවාට මොකද වුණේ. අපි කුඩු අල්ලන්න සහාය දෙනකොට, පාතාලය මර්දනයට කටයුතු කරනකොට අපිට මඩ ගහන්නේ ඔය කුඩු වලට පාතාලයට සම්බන්ධ අයයි. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන මඩ ගැහුවත් අපි ඉදිරියට තැබු පය ආපස්සට ගන්නේ නෑ. මේ රට පාතාලයෙන් කුඩු වලින් තොර රටක් බවට පත් කිරීමට අපි දිවිහිමියෙන් කැප වෙනවා.”